fuel-distribution-with-last-number

වාහනයේ අංකය අනුව අද සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කරන බවට දැනුම් දුන්න ද එලෙස ඉන්ධන ලබා නොදෙන බවට පාරිභෝගිකයින් චෝදනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය පවසන්නේ දින ගණනාවක් තිස්සේ පෝලිම්වල රැඳී සිටින ජනතාවට අද දිනයේ යම් සහනයක් සලසා ඉන්ධන ලබාදීම සිදුකළද හෙට දිනයේ සිට නියත වශයෙන්ම රථවාහන ලියාපදිංචි අංකයේ අවසාන අංකයට අනුව නියමිත දිනට පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදුකරන බවයි.

මේ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බෙදුම්කරුවන් වෙත ලබාදුන් වට්ටම් ප්‍රමාණය තුනෙන් එකකට වඩා අඩු කර ඇති බවය.



ඒ අනුව මෙම වට්ටම් ප්‍රමාණයට අනුව ඉදිරියේදී කිසිසේත් පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා.

“ඛනිජ තෙල් බෙදුම්කරුවන් හැටියට අපිට මෙතෙක් කල් අවුරුදු 15ක් 20ක් විතර අපිට තිබුණු කොමිෂන් මුදල එහෙම නැත්නම් අපිට තිබුණු වට්ටම් ප්‍රමාණය සියයට 3කටත් වඩා එහෙම නැත්නම් තිබුණු ප්‍රමාණයෙන් තුනෙන් එකකටත් වඩා අඩු ගාණකට ගෙනත් තියෙනවා. අද මේ සියලුම පිරවුම්හල්කරුවන් මේ තෙල් ලබාගන්නේ තමන්ගේ අත්පිට මුදල් දීලා. අපිට ඉස්සෙල්ලා තියෙනවා ක්‍රමවේදයක්, අපිට තෙල් ටික ලැබුණාම තමයි අපි චෙක් පත ලබාදෙන්නේ ඒ ක්‍රමයත් අපි අතහැරියා, කතාකරලා ඛනිජ තෙල් අමාත්‍යංශයත්, ඛනිජ තෙල් අමාත්‍යංශයත් IOC සමාගමත් කිව්වා අපිට දැන් මේ අවස්ථාවේ සල්ලි නෑ, ඊළඟට නැව මුදාගැනීම සඳහා සල්ලි අවශ්‍යයි කියලා. අපි ඛනිජ තෙල්කරුවන් හැටියට, සියලුම අය විශ්වාස කරන්න, සියලුම පිරවුම්හල්කරුවන්.

මම හිතනවා සියයට 45කට වඩා වැඩි ප්‍රමාණයක් ලක්ෂ 200කට වඩා ප්‍රමාණයක් මේ වෙනකොට තැන්පත් කරලා තියෙනවා ඛනිජ තෙල් සංස්ථාවේ ගිණුමට නමුත් මේ එහෙම කරලා තියෙන අවස්ථාවේදීත්, එහෙම ඉන් ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තියෙන අවස්ථාවේදීත් තෙලුත් නොදී දවස් ගණනාවක් පහුකරලා ඔවුන්ට ලැබෙන වට්ටම් මුදල තුනෙන් එකකටත් වඩා අඩුකරලා තියෙනවා මම හිතනවා ඉතාම අසාධාරණ ක්‍රියාවලියක්, කුමන පදනමක් යටතේ මෙහෙම කරාදැයි කියලා අපිට තවමත් හොයාගන්න බැරුව ඉන්නවා. අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වනවා ඉදිරියේදී, අපි ඉතාමත් මෑතකදී තීරණය කරනවා තවදුරටත් මේක කරගෙන යා හැකිද නැද්ද යන තීරණයට.”