fuel-for-mps

පාර්ලිමේන්තුවට අද (19) හෙටත් (20) පැමිණෙන මන්ත්‍රීවරුන්ට තමන් පදිංචි  ප්‍රදේශයෙහි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.  

ඉන්ධන ලබාගැනීමට ක්‍රමවේදයක් නොමැති බවට මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයාට කළ පැමිණිලි අනුව ඉන්ධන ලබාගැනීම සඳහා මේ ආකාරයට පහසුකම් සලසා දී ඇත. මේ අතර අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

ඡන්ද විමසීමට පැමිණෙන මන්ත්‍රීවරුන්ට විවිධ කැරලිකාර කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තර්ජන ගර්ජන කරමින් සිටින හෙයින් සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරිමට මෙසේ පියවර ගත් බව රජය පවසයි. අභිනව ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇති අතර පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා කණ්ඩායම්ද යොදවා ඇත. පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ග ආරක්ෂක හේතු මත සම්පුර්ණයෙන් වසා දමා ඇති අතර එම මාර්ගවලට ඇතුළු විය හැක්කේ ඒවායේ පදිංචිකරුවන්ට පමණි.



පාර්ලිමේන්තුව අවට මාර්ගවල යුද හමුදාවේ විශේෂ රථ රඳවා තිබෙනු ඊයේ (18) දැකගත හැකිවිය පාර්ලිමේන්තුවට අමුත්තන් පැමිණීමද ආරක්ෂක පියවරක් ලෙස නතර කර ඇති අතර, පාර්ලිමේන්තුවේ මහජන ගැලරිද වසා දමා ඇත, පාර්ලිමේන්තුවට පැමිණෙන මාධ්‍යවේදීන් සඳහා ද අලුත් උපදෙස් මාලාවක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.


-අංජුල මහික වීරරත්න-