කිසිදු හෝ ඉන්ධනයක් භාවිත නොකොට රසදිය පමණක් භාවිත කරමින් විදුලිය ජනනය කිරීමේ නව තාක්ෂණික උපකරණයක් සකස් කිරීමට ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා සමත් වී ඇත.ඔහු මෙය බාවිතයෙන් නිවෙස් හතකට පමණ විදුලිය ලබාදෙන බවද පවසයි.
මිනිරන් පමණක් භාවිත කොට සකස් කරන ලද එන්ජිමකට රසදිය යොමුකර ඒ තුළදී සෙල්සියස් අංශක 300ක පමණ උෂ්ණත්වයක් යටතේ රසදිය භ්‍රමණය කිරීම මඟින් උත්පාදනය වන චුම්භක ක්ෂේත්රය පදනම් කර ගනිමින් කිලෝ වොට් 07ක ටර්බයිනයක් කැරකැවීමෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය සිදුවන බව නව නිෂ්පාදනකරු විකුම් පවසයි.
අදාළ යන්ත්‍රය මඟින් උත්පාදනය කරන විදුලිය උපයෝගී කරගෙන තම නිවෙසේ සියලු විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට ඔහු මේ වනවිට සමත්ව ඇත.
වසර හයක පමණ කාලයක් රසදිය ආශ්රයෙන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව සොයා ගැනීම සිදුකර තිබෙන අතර එමඟින් මේ වන විට කිලෝ වොට් 07ක විදුලි උත්පාදනයක් සිදුකළ හැකි බව විකුම් පවසයි.
නව නිෂ්පාදනය සම්බන්ධව විකුම් දිඹුල්ගස්තැන්න මහතා මෙසේ විග්රහ කළේය. “මේ වන විට විදුලිය නිෂ්පාදනය සඳහා ලෝකයේ ජලය, දැවි තෙල්, ගල් අඟුරු, ඩීසල්, පෙට්‍රල් වගේ දේවල් යොදා ගන්නවා. ජලය හැරුණම අනෙක් දේවල් ක්ෂය වෙනවා. ජලය වුණත් වියළි කාලයේදී අඩු වෙනවා. රසදිය කියන්නේ ක්ෂය වන ලෝහයක් නෙවෙයි.
එක් වරක් පමණයි රසදිය යොදන්න ඕන. ඊට පසු අපට තිබෙන්නේ ප්රතිලාභ ගන්නයි. මේ වනවිට අපට අඛණ්ඩ විදුලි සැපයුමක් කරන්න නොහැකි වෙලා තිබෙනවා. ඉන්ධන හිඟය නිසා රටම අවුලකට පත්වෙලා. අනෙක් පැත්තෙන් විදුලි ගාස්තුත් විශාල ලෙස වැඩි කරන්න යනවා. රසදිය භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කළොත් අපිට අඛණ්ඩව ඉතා අඩු මුදලකට විදුලි ඒකකයක් ජනතාවට ලබා දීමට පුළුවන්.
ලෝකයේ කිසිදු රටක මේ ක්‍රමය භාවිත කරමින් විදුලිය උත්පාදනය කරලා නැහැ. බටහිර ජාතීන් මේකෙන් මොනවා හරි කරලා නැත්නම් අපිට කරන්න පුළුවන්ද කියන මානසිකත්වයේ ඉඳගෙන බැලුවොත් අපි ඉවරයි. රාවණා දඬුමොණරය රැගෙන ගියෙත් රසදියෙන් කියලා කියනවා. මේවා අපේ සංස්කෘතිය හා බැඳුණු දේවල්. රසදිය කිලෝවක් යොදා ක්‍රියාත්මක කරන යන්ත්‍රයෙන් මම නිවෙසේ බල්බ් 15ක් විතර දල්වනවා. රූපවාහිනිය, රෙදි සෝදන යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා. කාර්මික වැඩපොළේ සියලු කටයුතු කරන්නෙත් රසදියෙන් නිපදවන විදුලි බලය ආධාරයෙන්.
මේ නව නිපැයුම තවත් දියණු කර රටේ ආර්ථික ක්‍රියාවලියට ශක්තියක් කර ගැනීමට කටයුතු කළොත් අපේ අනාගත බලශක්ති අර්බුදයට ස්ථීරසාර විසදුමක් ලබාගත හැකියි.
රසදිය භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන නව යන්ත්‍රය බිහි කිරීම සඳහා ප්‍රදීප් නිශ්ශංක, සරත් වික්‍රමසිංහ, කිංග්ස්ලි රාජපක්ෂ, ආර්.එම්. නන්දසේන, කේ.පී. රත්නසිරි, ලසන්ත කුමාර, ගාමිණි සංජීව, එරංග ලක්ෂිත යන අය විකුම්ට කාර්මික අංශයෙන් සහය ලබාදී තිබේ. නව යන්ත්‍රය උපයෝගී කරගෙන එළැඹෙන නිකිණි මහේ ශ්‍රී දළදා සමිදුන් උදෙසා ආලෝක පූජාවක් පැවැත්වීම විකුම්ගේ බලාපොරොත්තුව වී ඇත.
මහනුවර – කේ.එල්. සුරවීර
0 Comments