gemunu-speaks

බොහෝ ලංගම ඩිපෝ තුළින් පෞද්ගලික බස් රථවලට නිසි ලෙස ඉන්ධන ලබා නොදීම හේතුවෙන් සමස්ත බස් රථ 13,000ක ප්‍රමාණයෙන් ඊයේ දිනයේ ධාවනය කිරීමට හැකි වූයේ, බස් රථ 1,500කට ආසන්න ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.  ලංගම ඩිපෝ තුළින් බස් රථවලට ඉන්ධන ලබාදීමට තෙල් සංස්ථාව හා ප්‍රවාහන අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළද,

ලංගම ඇතැම් වෘත්තීය සමිති මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිමට කටයුතු කරන බවත්, මේ නිසා බොහෝ ඩිපෝ මගින් ඉන්ධන ලබාදීම මන්දගාමී ආකාරයට සිදුකරන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මේ නිසා බස් රථවලට ඉන්ධන පිරවුම්හලින් අඛණ්ඩව ඉන්ධන ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඊයේ තෙල් සංස්ථා බලධාරීන්ගෙන් හා ප්‍රවාහන අමාතයංශ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ලංගම ඇතැම් වෘත්තීය සමිති විසින් සිදුකරන මෙම ක්‍රියා නිසා මේ රටේ මගී ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට පත් වීමට සිදුව තිබෙන බවත්, මේ නිසා බස් රථවලට පෝලිම්වල නොසිට පිරවුම්පහලින් ඉන්ධන ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෙම බලධාගෙන් ඉල්ලා සිටි බවත් සභාපතිවරයා සඳහන් කළේය. ලංගම ඩිපෝවල කාර්යාල කටයුතු දෙනිකව සවස 5.00ට අවසන් කරන නිසා ඉන්ධන ලබාදෙන ඩිපෝ මගින් පවා ඉන්ධන ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ, සීමිත බස් රථ ප්‍රමාණයකට පමණක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.