පසුගිය 9 වනදා අරගලකරුවන් ජනපති මැදුර ඇතුළු මර්මස්ථාන වට කළ පසුව රාජපක්ෂ පවුලේ අය දැන් සිටින්නේ කොහිද යන්න ගැන කුතුහලයක් ජනතාව තුළ ජනිත වී තිබේ. මේ ගැන හරියටම දන්නේ කතානායකවරයා වුවත් ඔහු අවස්ථා කිහිපයක පටලවමින් කතා කිරීම නිසා ජනතාවට දැන් විශ්වාසය හීනවී ගොස් තිබේ. 13 වනදා ජනපති ගෝඨාභය ධූරයෙන් ඉවත්වීම හරිහැටි නිශ්චය කරගැනීමට බැරිව බොහෝ දෙනා තවම සැකයෙන් සිටින බැවින් කතානායකවරයාගේ පරස්පර කතා නිසා අවසන්තීන්දුව ගැනද සැකයක් මතුව ඇත්තේය.
මේ අතර ප්‍රධාන පෙළේ මාධ්‍ය වෙත තිබෙන දේශපාලන සබඳතා ඔස්සේ ජනපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් සිටින තැන් ගැන ඉඟි ලැබී ඇතත් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටන ප්රතිපත්තියක ඔවුන් තවම සිටින බව දැනගන්නට ලැබේ. ඊට හේතුව එය ආරක්ෂාව වෙනුවෙන් රැකිය යුතු රාජ්‍ය රහසක් ලෙස සලකා ඇති බැවිනි. මේ අතර මේ අය ගැන තහවුරු නොකළ ආරංචි කිහිපයක් වෙබ් අඩවි දෙකක පළ කර තිබේ.
ඒ මෙසේය.
9 වනදා නාවික හමුදාවට අයත් 'ගජබාහු' සහ 'සිඳුරල' නම් නෞකා දෙකට වීවීඅයිපී පිරිසකගේ බඩු භාණ්ඩ පටවනු ලබන වීඩියෝවක් සමාජ ජාලා වල ප්‍රචාරය වූ අතර එම භාණ්ඩ රාජපක්ෂලාට අයත් ඒවා බවත් පසුව එම නෞකා ගමන් කළේ ත්‍රීකුනාමලයට බවත් බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක ලංකා ඊ නිවුස් වාර්තාවක දැක්වේ.
ගෝඨාභය රාජපක්ෂ 9 වනදා කලබලයට පෙර ත්‍රීකුණාමලයේ නාවික කඳවුරට ගිය බවත් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ද මේ අතර සිටි බවත් එම වාර්තාවෙන් කියැවේ.
මින් මාස 2 කට ඉහත මැයි 09 වනදා මහින්ද ආරක්ෂාව සොයා ගිය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ 'නේවි හවුස්' වෙත මේ අනුව ඔවුන් නැවත ගොස් ඇත.
ඇමරිකානු පුරවැසිභාවය හිමිව තිබූ ගේඨාභයට යලි ඇමරිකාවට යාම බාධාකාරී බවත් එහිදී නඩු පැටළෙන්නට ඉඩ ඇති බවත් පැවසෙන අතර
රාජපක්ෂලාට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE)හි ඩුබායිහි රැකවරණය ලබා දීමට එරට දේශපාලන බලධාරීන් කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙයි.
ඒ අනුව ගුවනින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යාමට සැලසුම් කර අද (11) උදෑසන ගෝඨාභය සහ පවුල ත්‍රිමලයේ සිට හෙළිකොප්ටර් යානා දෙකකින් රත්මලාන ගුවන් කඳවුරට පැමිණි බවත් එහිදී සූදානම් කළ සැලසුමක් වැරදී යාමෙන් අද ලංකාවෙන් පිටත්වීම හෙටට කල්තබා ඇති බවත් වාර්තාකර තිබේ.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සැලසුම වැරදී යාමෙන් පසු යළි කටුනායක ගුවන් හමුදා කඳවුරට හෙළිකොප්ටර් දෙකකින් ගමන් කළ පිරිස මේ වන විට කටුනායක කඳවුරේ නිල නිවාසයක රැඳී සිටින බව ඊනිවුස් වාර්තාකර තිබේ.
UL 220 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් රටින් පිටව යෑමට සූදානම් වුවද ගුවන් නියමුවන් පිරිස රැගෙන යෑම ප්‍රතික්ෂේප කළ නිසා අද රාත්‍රී ලංකාවෙන් ඩුබායි වෙත යන එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිරිස රටින් පිටව යෑමට සූදානමින් සිටින්නේ යයි එම වාර්තාවේ දැක්වේ.
--------------------
මේ අතර ලංකා නිවුස් වෙබ් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව යන බවකි. අද රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළින් ඩුබායි රාජ්‍යය කරාත් එහි සිට ඇමරිකාව බලාත් පිටත්ව යාමට නියමිත බවත් සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම සඳහා අවශ්‍ය කටයුතු ද මෙම සංචාරය තුළදී සම්පූර්ණ කරනු ඇති බවත් එහි දැක්වේ.
බැසිල් 12 වනදා පාන්දර ඩුබායි හරහා ඇමරිකාවට යන බවට ගුවන් ටිකට් පතක්ද ප්‍රසිද්ධ කර තිබේ.
0 Comments