ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ද රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ද ඉල්ලා අස්වන තෙක් රට පුරා අඛණ්ඩ වැඩ වර්ජන, හර්තාල්, උද්ඝෝෂණ ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන්නට තීරණය කළ බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව ඊයේ (ජූලි 13) සඳහන් කළේය.
ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩබිම් තුළ ඒකාබද්ධව කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා මහ ජනතාවගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද එම සංවිධානය ප්‍රකාශ කළේ ය.
මීට පෙර අප්‍රේල් 28 හා මැයි 06 වන දා කළ ආකාරයේ හර්තාල්, වැඩ වර්ජන, උද්ඝෝෂණවලට වඩා වර්ධනීය ක්‍රියාමාර්ග දිගින් දිගට ම කරන බව ද වෘත්තීය සමිති හා බහුජන සංධිධාන එකමුතුව නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ඉල්ලා අස්වන්නැයි රට වැසියන් සමග එක්ව අරගලකරුවන්, වෘත්තීය සමිති ඇතුළු අනෙකුත් සිවිල් සංවිධාන ඉල්ලා සිටි බවත් මහජන මතයට කන්දීමට ඔවුන් දෙදෙනා සූදානම් නැතැයි පැහැදිලි වන බවත් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තුව රැස් කර ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් තොර අන්තර්වාර පාලනයක් ඇති කළ යුතු බව ද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට මැදිහත් වූ පාර්ලිමේන්තු සංයුතියෙන් සමන්විත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ නොදෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
0 Comments