gotabaya-after-president

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූර කාලය අවසන් වීමට ප්‍රථමයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වූයේ ඊයේ (15) ය.ඔහු, අවුරුදු දෙකයි මාස හතයි දින 25 ක කාලයක් එම ධුරයේ රාජකාරි කටයුතු කර තිබෙන අතර හරියටම සැලකුවොත් ඔහු ධූරය දරා ඇත්තේ තමන්ට ලැබුණ කාලයෙන් අඩකි.
නියමිත කාලයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වුව ද ඔහුට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබෙන බව ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා පැහැදිලි කර තිබේ.



1986 අංක 04 දරණ ජනාධිපතිවරයාගේ හිමිකම් පිළිබඳව පනතේ හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද සඳහන් වෙයි. හිමිකම් පනතට අනුව,

සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.
යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි හෝ අවශ්‍ය නැතැයි දන්වා සිටින අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස රජය ලබා දිය යුතුය.


මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකු අභාවයට පත් වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිදට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය.
මීට අමතරව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ සැමියන්ට විශ්‍රාම වැටුප්, කාර්ය මණ්ඩලය, නිල නිවාස, ආරක්ෂක භටයින්, රථවාහන සහ ඉන්ධන වියදම් ද රජය මගින් ලබාදිය යුතු වෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඔහුගෙන් පසු බිරිඳට ද මෙම වරප්‍රසාද හිමිවන බව
නීතීඥ වරුන් පෙන්වා දී තිබේ.
මෙරට විධායක ජනාධිපතිවරුන්ගේ ධුර කාලයන් පිළිබඳ විමසා බැලීමේදී වැඩිම කාලයක් ජනාධිපති ධුරයේ රැඳී සිට ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගයි.

ඇය වසර 11 යි මාස හතක කාලයක් තුළ දෙවරක් ජනාධිපති ධුරය හොබවා තිබෙයි.2019 වසරේ නොවැම්බර් මස ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මෙරට ඉතිහාසයට එක්වන්නේ විධායක ජනාධිපති ධුරයකින් ඉල්ලා අස්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙසයි.