gotabaya-rajapaksa-sri-lanka-again

හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 13 වනදා මාලදිවයිනටත් එතැන් සිට 14 වනදා සිංගප්පූරුවටත් පලාගිය අතර ඔහුට මෙම ගමන් අතරවාරයේ ආරක්ෂාව ලබාගැනීමට අවශ්‍ය වූ නිසා ජනපති ධූරයෙන් ඉවත් නොවී දිගටම රැඳී සිටියේය. ඊට බලපෑවේ වීවීඅයිපී පහසුකම මත ඔහුට ඉක්මනින් ගුවන් ආසන වෙන්කරගැනීමට හා ආරක්ෂා සහිතව අවශ්‍ය තැනකට යාමට රාජ්‍ය නායකයෙකුට ලැබෙන වරප්‍රසාද අවසන් මොහොත දක්වා භුක්ති විඳීමටය.


කෙසේ වෙතත් ඔහුට ලංකාවේ සිට මාල දිවයිනට මෙන්ම මාලදිවයිනේ සිට සිංගප්පූරුවට ගමන් කිරීමට පෙර රාජ්‍ය නායක ගමනකදී සිදුකරන අන්ත දෙකේම ආරක්ෂාව තහවුරු කරමින් සපයන සහතිකය ලබාගැනීම ක්ෂණිකව කිරීමට අපහසුතා පැනනැගුණ අතර ඇතැම් ගුවන් සමාගම් එම සහතිකය නොලද නිසා ගෝඨාභය රාජපක්ෂ ගුවන් ගමනට එක් කර නොගෙන අත්හැර තිබුණි. රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාව සපයන්නට අවදානමක් ගන්නට බැරි නිසාය.
කෙසේ වෙතත් උත්සාහයන් 6 ක් පමණ යොදා  සිංගප්පූරුවට ඔහු ගොඩබැස්ස පසු එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත දන්වා තිබුනේ ඔහු පුද්ගලික සංචාරයක් එරටට පැමිණ ඇති බැවින් ගැටලුවක් නැති බවත් කිසිදු සීමාකමක්නැති බවත්ය.

නමුත් ගෝඨාභය රාජපක්ෂ රටක් බංකොලොත් කර පළාගිය නායකයෙකුය යන්න ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රධාන සිරස්තල මවමින් පළවීමත් ඔහුට ජාත්‍යන්තර වරෙන්තු මගින් අත්අඩංගුවට පත් කර පැනයන්නට ඉඩ නොදිය යුතු බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පවා සාකච්ඡාවීමත් නිසා තත්වය දුර ගියේය. සිංගප්පූරුව ඔහුව ලිහිල් ප්‍රතිපත්තියකින් පිළිගත්තත් දැන් ලැබෙන අලුත්ම ආරංචි පවසන්නේ ගෝඨාභයට දින 15 කට වඩා රැඳී සිටීමට සිංගප්පූරුව අවසර නොදෙන බවයි.



ඉන්ඩියා ටුඩේ පුවත් වාර්තාවකින් මේ බව සිංගප්පූරු බලධාරීන් ප්‍රශ්න කර තහවුරු කර තිබේ.සිංගප්පූරු රජය නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ බව දන්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සිංගප්පූරුවේ රැදී සිටිය හැක්කේ දින 15ක කාලයක් පමණක් බැවින් ගෝඨාභයට මේ වනවිට එරටින් පිටව යන්නට හැකි ස්ථාන සීමා සහිතවී ඇත. ඔහුට තම පුත්‍රයා සිටින රටට ඇමරිකානු වීසා ලබාගැනීමට දැරූ උත්සාහය ඇමරිකානු තානාපති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර තිබූ අතර ඉන්දියාවෙන්ද සහනයක් ලබා දෙන්නට බැරි බව කියා තිබුණි.‍

ඒ් අනුව එළැඹෙන 29 දාට පෙර ඔහුට සිංගප්පූරුවෙන් පිටත්වීමට සිදුවෙනු ඇත.  සමීප ආරංචි මගින් කියැවුනේ ගෝඨාභයට ආරක්ෂාව තකා එකවර සිංගප්පූරුවෙන් පිටව යාමට තව ඉතිරිව ඇත්තේ ස්ථාන දෙකක් පමණක් බවයි.

 එකක් නම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එහි ඩුබායිහි ඔහුට රැකවරණය සැපයීමට හිතවතුන් සිටී . එරට සමග පෙර පැවති සාකච්ඡා අනුව ගෝඨාභයට කරදරයක් නැත. දෙවැන්න නම් ශ්‍රී ලංකාවයි.


හිටපු ජනපතිවරයෙකුට හිමි නිල නිවසක් මෙන්ම ආරක්ෂාවක් ගෝඨාභයට මෙරට හිමි අතර ඔහුගේ වෙනස් කළ පුරවැසිකමද අයත්වන්නේ මෙරටට පමණි.නමුත් ගැටලුව නම් තවම ‘අරගල‘ නිමාවී නොතිබීමය.
පවතින ප්‍රචණ්ඩත්වය තුළ හිටපු ජනපති කෙනෙකු ලෙස ඔහුට ලැබෙන සීමිත ආරක්ෂාව ප්‍රමාණවත් නොවීමය.

ඒ අනුව ඩුබායි යනවාද ලංකාවට නැවත එනවාද යන තීරණය දෝලනය වෙමින් පවතින බව වාර්තාවේ.

ඇතැම්විට හෙට (20) රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පොහොට්ටු ආංශික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් 29 වනදා ගෝඨා මෙහි පැමිණීම බොහෝ විට සිදුවනු ඇති බවට ආරංචි පවතී.

පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙමින් කතානායකවරයාට යොමු කළ ලිපිය අවසන් කර තිබුනේ පහත පරිදිය.

තවද, මේ දක්වා මා උපන් මව්බිමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා මාගේ උපරිම දායකත්වය ලබාදීමට ඇප කැපවී සිටින බවත් වැඩිදුරටත් දන්වා සිටිමි.

මෙයට හිතවත්, ගෝඨාභය රාජපක්ෂ