gotabaya-singapore

පසුගිය ජුලි 09 වනදා ශ්‍රී ලංකාවෙන් පළාගොස් දැනට සිංගප්පූරුවේ වාසය කරන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට රැඳී සිටින කාලය දීර්ඝ කරන්නට ලැබුණ අයදුම්පතට අනුමැතිය ලැබී ඇතැයි සිංගප්පූරුවේ පළවන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.



සති දෙකකට පෙර ඔහු එරටට පැමිණි ගමන පෞද්ගලික සංචාරයක් ලෙස බලධාරීන් සලකා ඇති අතර එහි වීසා කාලය ඉකුත්වන්නේ අගොස්තු 08 වනදාය. එදිනට පෙර ඔහු එරටින් පිටවිය යුතු නමුත් ඔහු අන්තර්ජාලය ඔස්සේ අයදුම් කර තවත් දින 14 කින් වීසා කාලය දීර්ඝ කරගෙන ඇතැයි ආගමන හා මුරපොල අධිකාරිය (ICA)උපුටමින් වාර්තා කර තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි සංචාරකයින් සඳහා දින 30 ක උපරිම රැඳී සිටීමක් සිදුකළහැකි බවත් ඔහු ඒ අනුව දින 28 ක උපරිමය ලබාගෙන ඇති බවත් දැක්වේ. 


පුවත් වාර්තාව අනුව ගෝඨාභය රාජපක්ෂ හා බිරිය සිංගප්පූරුවට ගමන් කළ විගස නැවතී ඇත්තේ හෝටලයකය. ඉන් අනතුරුව ඔවුන් ආරක්සිත ලෙස නිවසක පදිංචියට ගොස් ඇතැයි වාර්තා කර තිබේ. කෙසේ වෙතත් කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැතැයිද වාර්තා කර තිබේ.

වීසා කාලය අවසන්වීම අනුව ලබන අගොස්තු මස 22 වනදා හෝ ඊට පෙර ගොඨාභය රාජපක්ෂ සිංගප්පූරුවෙන් ඉවත් වනු ඇත.



ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අඟහරුවාදා (ජූලි 26) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටි අතර
හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණෙන්නේ කවදාදැයි තමන් නොදන්නා නමුත් රාජපක්ෂ මහතා සැඟවී නොසිටි බවත් ඔහු පිටුවහල්ව නොසිටි බවත් ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා රජයේ නිලධාරියෙකුගේ අදහසක් උපුටා දක්වන ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත  රාජපක්ෂ මහතාට හැකි ඉක්මනින් නිවසට පැමිණීමට අවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹට තදාසන්නයේ මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ නැවත ජීවත් වීමට උනන්දුවක් දක්වන බවත් වාර්තා කර තිබේ.