gotagogama-9-suspects-released-on-bail

ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපළ වලට අනර්ථයක් සිදු කිරීම ඇතුළු චෝදනා කරමින් ඊයේ රාත්‍රී ගාලුමුවදොර පිටියේදී පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට පුද්ගලයින් 09 දෙනෙකු ඉදිරිපත් කළ අතර නීතිවේදී නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනා ඇප මත මුදා හරින ලෙස  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම 09 දෙනා වෙනුවෙන් අධිකරණ භූමියට නීතීඥවරු 320 ට ආසන්න පිරිසක් ස්වේච්ඡාවෙන් පැමිණ තිබීම විශේෂත්වයකි. ජනාධිපති නීතීඥවරුන් වන සාලිය පීරිස්, රියන්සි අර්සකුලරත්න,උපුල් ජයසිංහ හා සරත් ජයමාන්න ඇතුළු අය මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අමානුෂික ප්‍රහාරයක් සිදුවූ බවද අධිකරනයේදී පෙන්වා දෙන ලදි.



පොදු දේපළ පනත යටතේ පොලිසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ ද ඊට අදාළ ලේඛන පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැත.

මෙම අරගලය මුල් පටන් සාමකාමී අරගලයක් ලෙස ක්‍රියාත්මක වූ බවට පිලිගැනීමක් තිබූ බව සඳහන් කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එය හදිසියේ නීතිවිරෝධී රැස්වීමක් වූයේ කෙසේ දැයි පොලිසියෙන් ප්‍රශ්න කළේය.
කොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගලකරුවන් පිරිසක් විසින් මේ මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත් බව සඳහන් කළා. ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස කොළඹ මධ්‍යම ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයා විසින් ඉකුත් 18 සහ 19 දින වල දැනුම් දුන්නද ඔවුන් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ බව කීවේය.

ඉන් අනතුරුව අද අලුයම 1.30 ට පමණ පොලීසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසත් එසේ නොකරන්නේ නම් සාධාරණ බලයක් යෙදවීමට සිදුවන අතර ඊට අවනත නොවන්නේ නම් යුද හමුදාව කැදවීමට සිදුවන බව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් එම පිරිස දැනුවත් කල බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සදහන් කලේය.



ඊට අරගලකරුවන් අවනත නොවූ නිසා යුද හමුදාව යොමු කිරීමට සිදුවූ බවත් කීය.

එහිදී යුද හමුදාව සහ එහි රැස්ව සිටි පිරිස අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බවත් ඉන් පසුව යුද හමුදාව විසින් මෙම සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් බවත් ඔහු සඳහන් කලේය.
මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය තුළ අයුතු සහගත ලෙස රැදී  සිටිමින්  එහි දේපළ වලට අනර්ථයක් සිදුකොට ඇති බවත් ඒ බව දැක්වෙන ජායාරූප කිහිපයක් ද සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලදි.
ඒ අනුව මෙම සැකකරුවන් පොදු දේපළ පනත යටතේ අනර්ථය, අයුතු ඇතුළු වීම, සාපරාධී බලහත්කාරකම් පෑම, රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සිදු කොට ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එබැවින් මෙම සැකකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව කීය.

ඉන් අනතුරුව මෙහි සැකකරුවකු වශයෙන් නම් කර සිටින නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත් අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ නොවන බව කීවේය.

ඔහු අත් අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලය පිටත පිහිටි පාලම අසල දී බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු අත් අඩංගුවට ගනු ලැබුවේ කව්රුන් විසින් ද යන්න පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර නොමැති බව ද කීය.
ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

මෙහිදී යුද සහ ගුවන් හමුදාව යැයි කියා ගන්නා පිරිසක් තම සේවාදායකයාට ම්ලේච්ඡ ලෙස පහර දී ඇති බවත් එසේ පහර දීම සඳහා අණ දුන්නේ කව්රුන්ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදු කල යුතු බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

තවත් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අමානුෂික ප්‍රහාරය හේතුවෙන් රටේ කීර්තිනාමයට බරපතල හානියක් සිදුවී ඇතැයි සඳහන් කළේය.



සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි උපුල් ජයසූරිය සහ සරත් ජයමාන්න යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් ආකාරය මුලුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දී ඇත.
වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා වශයෙන් පත් වූ විගස අරගලයට උත්තේජනයක් ලබාදෙන ප්‍රකාශ කළේ යැයි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එසේ තිබියදී ඔහු ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් විගසම මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද මෙම ප්‍රහාරය හෙළා දැක ඇතැයි පෙන්වා දුන්නේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු 320කට අධික පිරිසක් පෙනී සිටිය අතර, චෝදනා එල්ලවූ සැකකරුවන් අතරින් දෙදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් මෙහිදී පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබුණි.

ඒ අනුව එක් එක් සැකකරුවෙකුට රුපියල් 10000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානයක්කාර මහතා නියම කළේය.
සැකකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමෙන් වළකින ලෙසත් සැකකරුවන් වෙත මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
පැමිණිල්ල ලබන 26 වනදා නැවත කැඳවීමට ද නියම විය.