indian-army-sri-lanka

අතිමහත් ජනතා බලවේගයක් මගින් පසුගිය 9 වනදා රාජපක්ෂවරුන් ප්‍රමුඛ රජය එළවා දැමීමට මුල් පියවර තැබූ පසුව එම පුවත ලෝකයේ දසදෙසින් ප්‍රචාරය වෙද්දී රාජපක්ෂ වරුන්ට කවදත් හිතවත් පාන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම මිතුරෙකු වන සුබ්‍රනියම් ස්වාමි ට්විටර් ඔස්සේ කළ ප්‍රකාශයක් අවධානයට ලක්විය.




ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයකු වන සුබ්‍රමනියම් ස්වාමි ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව යැවීමට යෝජනා කර තිබුණි.
“ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරී පත් විය. එවැනි නීත්‍යානුකූල මැතිවරණයක් පෙරළා දැමීමට ඉන්දියාව මැර පිරිසකට ඉඩ දෙන්නේ කෙසේද? ඔහු ට්විටර් ඔස්සේ ප්‍රශ්න කළේය.

“එවිට අපේ අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රටක් ආරක්ෂිත නොවනු ඇත. රාජපක්‍ෂට ඉන්දියාවේ හමුදා ආධාර අවශ්‍ය නම් අපි දිය යුතුයි” ඔහු වැඩිදුරටත් එහිදී පැවසීය.‍
මේ ඔස්සේ ලංකාවට ඉන්දීය හමුදා ඒමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ රාවයක් පැතිර ගිය අතර කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.



"මෙම වාර්තා සහ එවැනි අදහස් ද ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැලපේ" ට්විටර් පණිවුඩයක ඔවුන් දක්වා ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම, ස්ථාපිත ආයතන සහ ව්‍යවස්ථාමය රාමුව තුළින් ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සහ ප්‍රගතිය සඳහා ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන විට ඉන්දියාව ඔවුන් සමඟ සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අද පැහැදිලිව ප්‍රකාශ කරන බව වැඩිදුරටත් කියා තිබේ.