july-05-06-bomb-rumours

උතුරු - නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්ක කර ගෙන බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී
ක්‍රියාවක් හෙට (05දා) හෝ අනිද්දා (06දා) සිදු වන බවට තොරතුරු වාර්තා වූ බවට ආරක්ෂක
අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා පසුගිය 27 වැනිදා ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙන
බවත්, එම ලිපිය මර්ධනය කිරීමටද යොදාගැනීමක්ද  නැතිනම් සත්‍ය වශයෙන් සිදුවන්නක්ද යන්න පැහැදිලි
කිරීමක් සිදු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද (04දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



මෙවැනි ලිපියක් පාස්කු ප්‍රහාරයට පෙරද ලැබී ඇති බැවින් මෙම ලිපිය පිළිබඳ දැඩි අවධානය යොමු කළ
යුතු බවද එහිදී සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා,

“මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. කමල් ගුණරත්න ලේකම්වරයා 27 වැනිදා ලිපියක් යොමු කරලා
තිබෙනවා පාස්කු ප්‍රහාරය වගේ බරපතල කාරණයක් සඳහන් කරලා.

ඒ තමයි 07 වැනි මාසයේ 05 සහ 06 වැනි දින වල කළු කොටි සැමරුම් සහිත කාලය තුළ උතුරු -
නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්ක කර ගෙන බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්
විදේශ ඔත්තු සේවාවක් මගින් සිදුකර, එය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවට සදහන්
කිරීමේ සූදානමක් තිබෙනවා.

දැනටමත් යාපනය ප්‍රදේශයේ විදේශ ආයතන වල සේවය කරන පිරිස් හා ප්‍රභූවරුන් 05 සහ 06 යන
දින වල කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙස දැනුම්දී ඇති බව ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය
විසින් තොරතුරක් දැනුවත් කරලා තිබෙනවා.

මම ඒ ලියුම සභාගත කරන්නම්.

තවද ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු දේශපාලඥයන් ඉලක්ක කරගෙන ඔවුන්ට සහ ඔවුන්ගේ
නිවාස වලට යම් ප්‍රහාරයක් එල්ල කරන බවට සඳහනක් කර තිබෙනවා. මේක මර්ධනයක්ද කරන්න යන්නේ?
නැතිනම් සැබෑ තත්ත්වයක්ද? මේ වගේ ලිපියක් පාස්කු ප්‍රහාරයට කලිනුත් නිකුත් වුණා. මේ ගැන දැඩි
අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා.?” යනුවෙන් සඳහන් කළේය.