july-13-gota-go-home

පසුගිය ජූලි 09 දින අරගලයෙන් පසු කතානායක වරයා රටට දැනුම් දුන් පරිදි ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ජූලි 13 වනදා ඉල්ලා අස්වුනේ නැත. ඔහු 14 වනදා ඉල්ලා අස්වෙන්නේදැයි පැහැදිලි නැත.


මාස 3 කට ආසන්න කාලයක් තිස්සේ ගෝටා ගෝහොම් සටන් පාඨයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහුට ජනපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කළහ.


අප්‍රේල් මාසයේ ඇතිවූ කලබල නිසා ඔහු මුලින් කැබිනට් මන්ඩලය විසුරුවා හැරි මුත් තනතුර අත් හැරියේ නැත. වෙනත් ඇමතිවරු පත්කර පාලනයේ හැඩේ වෙනස් කළේය. පසුව මැයි 9 අගමැති මහින්දට ඉවත්වෙන්න සලසා රනිල් අගමැති ලෙස පත්කර ආණ්ඩුවේ හැඩය පමණක් ටිකක් වෙනස් කර පෙර පාලනයම ගෙන ගියේය.
ජනතාව බැරිම තැන ඔහු සිටි තැන් වැටළූ පසු ජුලි 09 වනදා ඔහු නැවක සිට පණිවිඩ එවා කතානායක ලවා කියවූයේ තමා දින 4 කට පසු 13 දා ඉවත්වන බවයි.
පසුව 11 වනදා ඉල්ලා අස්වීමට අත්සන් කළ බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක්ද කළේය. නමුත් ඔහු පසුව කියා තිබුනේ රටින් පිටවීමට අවශ්‍ය බවත් එතෙක් ඉල්ලා අස්නොවන බවයි. ඒ අනුව 13දා පාන්දරින්ම ඔහු මාලදිවයිනට පැන්නේය.
ජනතාව බලා සිටියේ ඔහු 13 බදාදා ඉවත්වේය කියාය. 13 දා දවල් කතානායක පැවැත්වූ මාධ්‍ය හමුවකදී කිව්වේ 13 දා රෑ 8 ට පෙර ඔහු ඉවත්වන බවකි. නමුත් රෑ 12 වනතුරුත් ඔහු ඉවත්වූයේ නැත.


පසුව ආරංචි කරන්නේ 13රාත්‍රී මාලදිවයිනේ සිට සිංගප්පූරුවට ඔහු ගමන් කරන බැවින් සිංගප්පූරුවේ සිට ජනපති පදවියෙන් ඉවත්වන කතාවකි. තවම සිංගප්පූරුවට ගොස් අවසන් නැති නිසා ඒ ගැන නිශ්චය කරගන්නට නොහැකිය.
ගෝඨාභය ඉවත්වන්නට දින ලබාදීම නිසා අරගලයට කැමති අය ඇතිවූ පීඩනය අහවර යයි කිසියම් අස්වැසිල්ලක් ලැබූ නමුත් ඔහුගේ ඉවත්වීම ප්‍රමාදය නිසා මේ වනවිට රට ඇත්තේ දේශපාලන වියවුලකය.තැන තැන කලබල ගොඩකි. මෙම මොහොතේත් රටේ ඇඳිරි නීතියයි.
තමන්ගේ කන්ඩායමට දේශපාලන ආරක්ෂාව සොයාගැනීමේ උවමනාව වෙනුවෙන් ‘බල ක්‍රීඩාවක‘ නියැළෙන දෙතුන් දෙනෙකු නිසා මෙම වියවුල නිර්මාණයවී ඇත.
මේ ප්‍රමාදය තමන් හා සමීප අය රැකීම පිණිසය. අනුප්‍රාප්තිකයා තමන්ගේ අය රැකබලාගන්නා කෙනෙකු නොවුනොත් වර්තමානයටත් වඩා අනාගතය අඳුරට වැටේ යයි බියක්ද ඔහුට ඇති බව පැහැදිලිය.