kahataruppa-murder

කහටරුප්ප දෙහිලන්ද ප්‍රදේශයේ නිවසක නිදන කාමරයේ ඇඳක් මත නිදා සිටි සිය සැමියාගේ හිසට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළැයි සැකපිට දෙදරු මවක් සහ පුතෙකු ඊයේ (03දා) අත්අඩංගුවට ගත් බව කහටරුප්ප පොලීසිය පවසයි.

කහටරුප්ප දෙහිලන්ද ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මවක සහ 17 හැවිරිදි පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාව මෙසේ සැමියාගේ හිසට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවත්, තොරතුරු වසන් කිරීම, මේ සදහා ආධාර අනුබල දීම හා සිද්ධිය දැනුම් නොදීම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.උදැල්ලකින් හිසට පහරදීමෙන් මෙසේ ඝාතනයට ලක්වූයේ කහටරුප්ප ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන ඩී.එම්. නිමල් (අවු.51) නමැත්තෙකි.

මෙම කාන්තාව සහ සැමියා ගොවිතැන් කටයුතු කරමින් ජීවිකාව ගෙන ගොස් ඇති බවත්, දෙදෙනා අතර කලක පටන් පවුල් ආරවුලක් තිබී ඇති බවත්, පසුගිය මැයි මස 31වන දින රාත්‍රී සැමියා නිවසේ නිදන කාමරයේ නිදා සිටියදී මෙලෙස ඝාතනය කර ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේ පුතා රැය පහන් කිරීමට ඒ ආසන්නයේ මිත්තනියගේ නිවසට ගොස් සිට ඇති බවත්, පසුදින උදෑසන නිවසට පැමිණි බැලීමේදී පියා මියගොස් ඇති බව දැක ඇති බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය විය.අනතුරුව මව පුතා සමග එක් වී පියා ඇද සිටි ඇදුම් පැලදුම්,ජැකට් එක ජංගම දුරකථනය, නිදා සිටි මෙට්ටයත් ගිනි තබා ඇති අතර, පසුව පියාගේ මළසිරුර උස්සා රැගෙන ගොස් නිවසට මීටර් 200ක පමණ දුරකින් පිහිටි ලදු කැළෑවේ ගල්බැම්මක් මතින් පහළට දැමූ බව සැකකාරිය පාපොච්චාරණය කරමින් පවසා තිබේ.ඉන් අනතුරුව පසුදින ජුනි මස 1වන දින සිය සැමියා අතුරුදන් බවට කාන්තාව පොලීසියට පැමිණ පැමිණිලි කළ බවත් කහටරුප්ප පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගැමුණු ලාල් මහතා පැවසීය.

මෙම ඝාතනය සිදු වී දින 16කට පමණ පසුව දෙහිලන්ද ප්‍රදේශයේ තේ වත්තකට තේ දලු කැඩීමට යමින් සිටි අයෙකු ඒ අසල ලදු කැලෑව දෙසින් ඳුගධයක් දැනී සොයා බැලිමේදී වනසතුන් කා දමා බෙහෙවින් විනාශ වී දුගද හමමින් තිබූ මළසිරුරක් දැක ලබා දුන් තොරතුරක් අනුව මළසිරුර ඉකුත් මස 16වන දින සොයා ගත් බවද පොලීසිය පවසයි.බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකළ අතර, බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ටී.කේ. විජේවීර මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය. මෙය මොට ආයුධයකින් හිසට පහරදීමෙන් සිදුවූ මරණයක් බවට එම වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය විය.

මෙම ඝාතනය සිදු කර මසකට පසුව සැකකාර බිරිද, පුතා මෙසේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඔවුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය විනැයි පොලීසිය සදහන් කළේය.සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පී.කේ.ජේ. අල්පොන්සු, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරී බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත කහටරුප පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්.එම් ගැමුණු ලාල් මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.