mulathiw-kurundi-temple

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මුලතිව් කුරුන්දි රජමහ විහාරය  සම්බන්ධ සිදුවීමක් ආන්දෝලනයක් ඇති කර තිබේ.නිවැරදි සිදුවීම පසෙක තිබියදී එකතු කළ කරුණු මගින්  සමාජ මාධ්‍ය තුළ මෙම සංසිද්ධිය විකෘතියට පත්කර ඇති අතර සත්‍ය සිද්ධිය පහත පරිදිය.



 මුලතිව් කුරුදුමලෙයි ආදි ශිව අයියනාර් කෝවිලේ පාලක සභාව සහ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා විසින් පසුගිය ජුනි 12 වැනිදා ඓතිහාසික කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානයේ නව ඉදිකිරීම් සිදුකොට බෞද්ධ ස්ථානයක් බවට පරිවර්තනය කරන බවට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවට අදාළව කුරුන්දි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් නැවත අලුතින් ඉදිකිරීම් සිදුනොකරන ලෙසත් කුරුදුමලෙයි විහාරාධිකාරි ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන් ඇතුළු පිරිසකට මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා ඉකුත්වූ 14 වැනිදා තහනම් නියෝගයක් නිකුත් කළේය.


නව ඉදිකිරීම්, නව ප්‍රතිමා හා පිළිම තැන්පත් කිරීම් සිදුනොකරන ලෙසත් එවැනි  ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් මෙහිදී නියෝග කෙරිණි. නව ඉදිකිරීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබාදෙන ලෙසත් නියෝග කළ අතර හින්දු ජනතාවට පුරාවිද්‍යා භූමියට ඇතුළුවී ආදී ශිව අයියනාර් කෝවිලේ පූජා පැවැත්වීමට ඉඩ ලබාදෙන ලෙසත් දැනුම් දුන්නේය. හින්දු බැතිමතුන් පූජාව පවත්වන අවස්ථාවේ පොලිස් ආරක්ෂාව සපයා දෙන ලෙසට ද නියෝග කෙරිණ.

මෙම උසාවි නියෝගයේ පරිදි කුරුන්දි රජමහ විහාරයේ ‘අලුත් ඉදිකිරීම්‘ ගැන සඳහන් වූවද එවැනි අලුත් ඉදිකිරීමක් සිදු කර නැති බව විහාරවාසී උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ජුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.
මෙම විරෝධය දෙමළ සන්ධානයේ සමහර දේශපාලන නායකයන් මුල්වී සිදු කරන්නක් බවත්  ඔවුන් කුරින්දි විහාරයේ පවතින අලුතින් සංරක්ෂණය කරන ලද දාගැබ , නව ඉදිකිරීමක් ලෙස සිතා නඩු මගට එළැඹුණත් සැබැවින්ම කිසිදු නව ඉදිකිරීමක් මෙහි සිදුව නැති බවත් පුරාණ දාගැබ , පිලිමගෙවල් , බෝධිඝර ආදිය ඒවා පවතින ස්ථානයේම සංරක්ෂණය කිරීමක් පමණක් සිදුකර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම මෙම තීන්දුව ලබාදීමේදී උසාවිය මගින් පුරාවිද්‍යා බලධාරීන්ගේ මතය විමසීමක් සිදුකර නොමැති අතර ඒ නිසා ලැබුණ කරුණු මත පදනම්ව ‘කඩාදමන‘ නියෝගයක් නිකුත් කර ඇති බව උන් වහන්සේ පැහැදිලි කළහ.

මෙම උසාවි නියෝගය ක්‍රියාත්මක කළ යුත්තේ පොලිසියයි. මෙම සංරක්ෂණය කරන ලද නිර්මාණ ඉවත් කිරීම සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය විමසීමේදී මුලතිව් පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝගයක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තමාට ලැබුණ නමුත් ඒ ගැන ක්‍රියාකිරීමට කිසි දෙයක් කරන්නට නැති බවයි.
හේතුව නම් නව ඉදිකිරීමක් සිදු කරනැති නිසාය.

ඒ නිසා ‘කඩා දැමීමක් ‘ කිසිලෙසකින් සිදුවන්නේ නැතැයි තහවුරු කළේය.
මෙම බිම සම්බන්ධව ගැටලුව මතුවූයේ කෝවිලක් සහ විහාරස්ථානය සමග පැවති මතභේදයක් නිසා 2020 වසරේදී වෙනත් නඩුවකට හා සම්බන්ධ තීන්දුවක් ලබාදෙන්නට යාමේදී බව ස්ථානාධිපතිවරයා පැහැදිලි කර තිබේ‍.
මෙහි කැණීම් කටයුතු සිදු කල පුරාවිද්‍යා නිලධාරින්, පැරණි දාගැබ සහ බුදු මැදුරු ආදී දේ සොයාගත් බවත් , ඒවා සංරක්ෂණ ක්‍රියාදාමයේම කොටසක් ලෙස පැරණි ආකාරයම තබා ගඩොල් වලින් දාගැබ පිළිසකර කර, එම කැනීම් කටයුතු වලින්ම සොයාගත් ධාතු නිදන් කිරීම සදහා මීට ටික  දිනකට පෙර ජුනි මසදී උත්සවයක් සංවිධානය කර තිබුණු බවත්,  උත්සවය දින ඇතැම් දමිළ දේශපාලන නායකයන් සහ දෙමළ ජන කොටස් එම ස්ථානයට පැමිණ වැරදි වැටහීමකින් විරෝධය පළ කිරීම නිසා උත්සවය අවලංගුවූ බවත් පාර්ලිමේන්තුවේ දී පවා ඒ ගැන සාකච්ඡාවූ බවත් ඔහු පැවසීය.උසාවි නියෝග ගන්නට එකී දේශපාලකයින් උත්සුකවූයේ ඊට පසුව බවද සඳහන් කළේය.

පුරාවිද්‍යා භූමියක් වන මෙහි නව ඉදිකිරීම් මොනවාද , පැරණි පුරාවිද්‍යා ඉදිකිරීම් මොනවාද යන්න වෙන්කර නව ඉදිකිරීම් ඉවත් කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බව කී ඔහු නීතිපතිවරයා වෙත අදාළ කරුණු වාර්තා කරන බවත් පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ වැඩිදුර වාර්තාවක් නඩුවේ ඊළඟ වාරවලදී සිදුකරනු ඇති බවත් පැවසීය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුලිදනායගම් ඇතුළු මුලතිව් නීතිඥ සංගමයේ නීතිඥවරුන් පිරිසක් කරුණු දැක්වූ අතර නඩු විභාගය නැවත ජුලි 30 කැඳවීමට නියමිතය.