ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා ටීවී දෙරණ 360 විශේෂ වැඩසටහන සමග ආර්ථික අර්බුදය සහ ඉන් ගොඩඒමේ මග පිළිබදව පැවැත්වූ සංවාදය ඇසුරින් සැකසූ ලිපියකි.
රට තුළ උද්ගතවී ඇති ප්‍රබල ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉතාමත් ශක්තිමත් සහ වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වැඩපිළිවෙළවල් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යයයි. එහිදී කෙටි කාලයක් තුළදී ගොඩනැංවිය හැකි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමද වැදගත් වේ. මෙවැනි අවස්ථාවක ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී ප්‍රධානම පාර්ශ්වකරුවා වන්නේ පවතින රජයයි. එහිදී ජනාධිපති, අගමැති පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයට භාරධුර කර්තව්‍යයක් පැවරෙයි. මොවුහු රටක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මූලික පාර්ශ්වකරුවෝ වෙති. එමෙන්ම රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහ බැංකුවට පැවරෙන්නේ විශාල වගකීමකි. ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජයට තීන්දු තීරණ ගැනීමට ඇති හැකියාවද තීරණාත්මක සාධකයක් ලෙස සලකනු ලබයි.
දේශපාලන ස්ථාවරත්වයේ අවශ්‍යතාව
රටක ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ඒ රට තුළ ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැංවීම අත්‍යවශ්‍යය කාරණාවකි. යම්කිසි ආකාරයක සෘජු තීන්දු තීරණ ගැනීම සඳහා ස්ථාවර රජයක් පැවතිය යුතුය. මේ අර්බුදයෙන් මිදෙන තුරුවත් දේශපාලන ස්ථාවරත්වයක් නොතිබුණහොත් ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී තවත් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇත.
දැන් අප පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ සාකච්ඡා කර, සාර්ව ආර්ථික ස්ථායිකරණය පිළිබඳ වැඩපිළිවෙළකට ඉතාමත් ඉක්මනින් යොමු විය යුතුය. ඒ හැර අර්බුදයෙන් මිදීමට වෙනත් කෙටිකාලීන විකල්පයක් නැත. මේ වන විට අපගේ ණය බර වැඩිවීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ඒ සම්බන්ධයෙන් වැදගත් ආර්ථික තීන්දු තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට මුදල් ඇමැතිවරයෙක් සිටිය යුතු අතර, කැබිනට් මණ්ඩලයක් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් තිබිය යුතුය.
පසුගිය මාස කිහිපය පුරාම රටේ තිබූ අස්ථාවර දේශපාලන පසුබිම නිසා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සැලසුම් කර තිබූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද ප්‍රමාද විය. මෙලෙස ප්‍රමාද වීම් නිසා සිදුවන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තවත් වැඩිපුර කාලයක් වැය කිරීමට සිදු වීමයි. ඒ නිසා ජනතාවට ආර්ථික අර්බුදය නිසා පීඩා විඳීමට සිදුවන කාලය ද දිගු වේ. රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් හැකි ඉක්මනින් ගොඩ ඒමට නම් රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි, සාධාරණ ලෙස ඉදිරියට පවත්වාගෙන යා හැකි ස්ථාවර දේශපාලන ක්‍රමවේදයක් සහ රජයක් වහාම පිහිටුවා ගැනීම අවශ්‍යවශ්‍ය සාධකයකි.
IMF තාක්ෂණික සාකච්ඡාවලට බාධාවක් නැත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේදී මූලික වශයෙන් ප්‍රධාන පියවර දෙකක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවයි. රජය විසින් මහ බැංකුව භාණ්ඩාගාරය හා අනෙකුත් රජයේ අමාත්‍යංශ හරහා ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙළ තාක්ෂණික සාකච්ඡා ලෙස අර්ථ දක්වයි. ඉහතින් සඳහන් කළ ආයතන ඉදිරිපත් කරන යෝජනාවල දත්ත සහ නිර්ණායක සලකා බැලීම තාක්ෂණික සාකච්ඡා යටතේ සිදුවේ. මේ අවස්ථාවේදීත් තාක්ෂණික සාකච්ඡාවන් සඳහා කිසිදු බාධාවක් නැත. මේ දිනවලත් එවැනි තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවන් සිදු කෙරෙමින් පවතී. නමුත් මේ ඉදිරිපත් වන ප්‍රතිපත්ති සඳහා එකඟතාවයකට එළඹිය යුත්තේ පවතින රජයයි.
මෙලෙස ඉදිරිපත් කරන වැඩපිළිවෙළ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වන්නේ නම් ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් අනුමැතිය ලබා දෙයි. නමුත් වරින් වර දේශපාලන අස්ථාවරත්වයන් සිදුවීම නිසා මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද ප්‍රමාද වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා සහභාගී වූයේ එක් මුදල් අමාත්‍යවරයෙකි. ඔවුන් ලංකාවට පැමිණියාට පසුව සාකච්ඡා කළේ තවත් මුදල් අමාත්‍යවරයෙක් සමඟයි. මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ වෙනත් මුදල් අමාත්‍යවරයෙක් යටතේයි. මෙලෙස දිගින් දිගටම තනතුරු මාරු වීමද අපේක්ෂිත සංවර්ධිත අරමුණු කරා යාමට බාධාවකි.
IMF හැර විකල්පයක් තිබේද?
පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒවට වෙනත් කිසිදු විකල්පයක් පේනතෙක් මානයක නැත. මේ විසඳුම් සොයමින් අපට ගමන් කරන්නට සිදුව ඇත්තේ ඉතාමත් පටු මාර්ගයකය. මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡාවන් මුදල් අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ කර ඇත. අලුතෙන් පත්වන මුදල් අමාත්‍යවරයාගෙ වගකීම එම සාකච්ඡා එලෙසින්ම ඉදිරියට ගෙන යාමයි. එසේ වුවහොත් මුදල් අමාත්‍යවරු මාරුවීම අයිඑම්එෆ් සහයෝගයට බාධාවක් නොවනු ඇත. කිනම් මුදල් ඇමැතිවරයෙක් පත්වුවත්, කුමන රජයක් බලයට පත්වුවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇති එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.
නිදහසෙන් පසුව ඇතිවූ දුෂ්කරතම ආර්ථික අර්බුදයට මේ වනවිට ශ්‍රී ලාංකිකයෝ මුහුණ දෙමින් සිටිති. ඉන්ධන සහ අත්‍යවශ්‍යය භාණ්ඩ හා සේවාවන්හි හිඟවීමත් සමඟ මේ වන විට රටේ සියලුම අංශ කඩා වැටී අවසන් ය. මේ අවස්ථාවේදී රට තුළ උද්ගතවී ඇති අර්බුදයෙන් මිදීම සඳහා විවෘත ගිණුම් හරහා හෝ වෙනත් ක්‍රමයකින් රටට භාණ්ඩ ගෙන්වීම සඳහා ආණ්ඩුව උත්සාහ කරයි. නමුත් මහ බැංකු සෑම අවස්ථාවකදීම විනිමය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග වෙත නැඹුරු වේ.
විනිමය අනුපාතයේ කතාව
විනිමය අනුපාතය පිළිබඳව කතා කිරීමේ දී යම්කිසි ආකාරයක අත්‍යවශ්‍ය භාණ්ඩ නිසා විනිමය අනුපාතය යම්කිසි මුදලකින් වෙනස් වන්නේ නම්, මුළු රටේම ආනයනය කරන භාණ්ඩ සඳහා වැඩිපුර වියදමක් දැරීමට සිදුවේ. විනිමය අනුපාතය ඕනෑවටත් වඩා අලුත් ප්‍රමාණය වී ඇති අවස්ථාවක තවදුරටත් විනිමය අනුපාතය අනවශ්‍යය ලෙස අවප්‍රමාණයට ඉඩ සකස් කළහොත් එයින් ලැබෙන ප්‍රතිඵල ද භයානක වනු ඇත.
එය නිසා මේ අවස්ථාවේදී භාණ්ඩ ආනයනය කිරීමෙන් ලැබෙන වාසිය ට වඩා ආර්ථිකය නිසි ලෙස පවත්වාගෙන යෑමට යාමට වෙර දැරීම මුළු මහත් රටේම අවශ්‍යතාවය සේ සැලකිය යුතුය. විවෘත ගිණුම් සඳහා ආනයන තහනම දිගින් දිගටම ක්‍රියාත්මක වූවානම් වෙළෙඳ නොනිල වෙළඳපළට ලබාදෙන වැඩි මුදල ඉතාමත් කෙටි කාලයක් තුළ සාමාන්‍ය වෙළෙඳපොළ මට්ටමට ගෙන ඒමට හැකියාව තිබුණි. විවෘත ගිණුම් සඳහා ආනයනය තහනම් කර සති දෙකක් වැනි කාලයක් තුළ එහි ප්‍රතිඵල ලැබීම ආරම්භ විය.
පවතින අර්බුදයෙන් ගොඩ ඒමට වෙනත් ක්‍රියාමාර්ග ඇති බවට විවිධ පිරිස් අදහස් පළ කළත් කිසිදු ක්‍රමවේදයක් ඔස්සේ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වූ බවක් පෙනෙන්නට නැත. එවැනි අසාර්ථක ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට යාමේ දී සිදුවන්නේ අප සතුව තිබෙන සංචිත ප්‍රමාණයන් පවා අපට අහිමි වීමයි.
බොහෝ රටවල් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් වුවත් ඔවුන් ඒ උපකාර වෙනුවෙන් ඉදිරිපත් කරන කොන්දේසි ක්‍රියාත්මක කිරීමේදී ද ගැටලු සහගතය. ඇතැමුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබුණු පසුව අපේ රටට උපකාර කරන බවට පොරොන්දු දෙයි. නමුත් රට තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති අවස්ථාවක විවිධ අත්හදා බැලීම් කරමින් වැය කිරීමට කාලයක් අපට නැත. යායුතු මාර්ගය පැහැදිලිව පෙනෙන්නට තිබියදී වෙනත් මාර්ගවල යාම රට තවත් ප්‍රපාතයකට ඇද දැමීමකි.
වසරකට පෙර කළා නම් අර්බුදය දරුණු නොවේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුවීමේ වැඩපිළිවෙලට මීට අවුරුද්දකට පෙර යොමු වුණා නම් මේ අර්බුදයෙන් ගොඩ ඒම එතරම් අපහසු කාර්යයක් නොවන්නට ඉඩ තිබුණි. 2009 වසරේදී රට තුළ යුදමය වාතාවරණයක් තිබූ අවස්ථාවේදී ජාත්‍යන්තරයෙන් ලංකාවට මෙතරම්වත් සහයෝගයක් නොලැබුණි. නමුත් එවැනි අවස්ථාවක ඉදිරියේදී සිදුවිය හැකි අර්බුදය තේරුම් ගත් එවකට පැවති රජය මහ බැංකුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ නිසා ජනතාවට ආර්ථික අර්බුදයෙන් මෙතරම් පීඩාවක් විදින්නට සිදු වූයේ නැත. සුදුසු කාලයේදී සුදුසු තීරණ වලට නොගිය නිසා දැන් රටට අත්වී ඇත්තේ ඛේදනීය ඉරණමකි. මීට වසරයකටවත් පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා යොමු වුණා නම් අපේ රටේ පෝලිම් සංස්කෘතියක් නිර්මාණය නොවන්නට තිබුණි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ මෙහෙමයි
ලංකාවේදී මීට පෙර කිසිම දවසක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව අවධානය යොමු කර නැත. එය අපේ රටේ ආර්ථිකයට අලුත් අත්දැකීමකි. නමුත් සැම්බියාව, ලෙබනනය ආජන්ටිනාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවස්ථා කිහිපයකදීම සිදු කර ඇති බවට ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අවබෝධ විය. ණය සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබුණා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර වැඩසටහනක් සැලසුම් කිරීම මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත කරගත හැකි කාරණාවකි. නමුත් දැන් මේ සියල්ලටම පෙර ණය ප්‍රතිව්‍යුහගතකිරීමක් කළ යුතුව ඇත.
ඒ සඳහා මූල්‍ය අරමුදල සහතික කළ වැඩපිළිවෙළක් අවශ්‍යය වේ. එලෙස සකස් කළ වැඩපිළිවෙල පත්කළ උපදේශකවරුන් හරහා අදාළ පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කරනු ලබයි. ජාත්‍යන්තර ක්‍රියාවලියේ දී මූලික වශයෙන් ණය ලබා ගන්නා ප්‍රධාන කණ්ඩායම් තුනක් හඳුනා ගත හැකිය. මේ කණ්ඩායම් තුන ඔස්සේ යම්කිසි ක්‍රමවේදයකට අනුව සැලසුම් සහගතව සිදුකරන වැඩසටහනක් යටතේ ණය ලබාදීම සිදුකරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා වැයවන කාලය තීරණය කළ හැක්කේ ණය ලබා ලබාදෙන පාර්ශ්වයන් තුනෙහි ප්‍රතිචාරය මතයි.
චීනයේ කැමැත්ත නොලැබුණොත්...?
සියලුම ණය හිමියන්ට සමාන සැලකීමක් ලැබිය යුතු බව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉදිරිපත් වන කොන්දේසියකි. නමුත් මේ වන තුරු චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ වන බවට ස්ථාවර ප්‍රකාශයක් පළකර නැත. එමෙන්ම මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තමන්ගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය නොවන බවත් අවස්ථා කිහිපයකදීම චීනය සඳහන් කර තිබේ.
යම් හෙයකින් චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවුණහොත් අනෙකුත් පාර්ශ්වයන් ද මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙළඹීම සාමාන්‍ය කාරණාවකි. මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල් ගත වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමද තවදුරටත් කල් දැමීමට ලංකාවට සිදුවේ.
චීනය ශ්‍රී ලංකාව සමඟ ඉතාමත් සමීපව කටයුතු කළ රටක් නිසා ලංකාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලංකාවට සහයෝගයක් ලබාදෙන බවට දැනට විශ්වාසයක් ඇතිකර හැකියි. ඔවුන් එලෙස සහයෝගය ලබා දුන්නොත් ඉතාමත් ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ කටයුතු වෙත යොමුවීමට හැකියාව පවතී. ඒ සඳහා රාජතාන්ත්‍රික මට්ටමෙන් සහ තාක්ෂණික මට්ටමෙන් ඔවුන් සමඟ සාකච්ඡාවක් පැවැත්විය යුතුයි. මෙලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව හැකි විගස චීනය සහයෝගයක් ලබා ගැනීමට හැකි වුණොත් ඉතාමත් ඉක්මනින් අපේක්ෂිත අරමුණු කරා ළඟා වීමට හැකියාව ඇත.
දේශීය ණයවලට මොකද වෙන්නේ...?
ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ දී කිසිම අවස්ථාවකදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂාවක් නැත. මේ අවස්ථාවේදී රටට ඇත්තේ විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි ගැටලුවකි. දේශීය ණය මුදල් ගෙවා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීමට පවා හැකියාවක් ඇත. එහි දී උද්ධමනය යම්කිසි මට්ටමකට ඉහළ යාම සිදු වුවත් දේශීය ණය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇති නොවේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යොමු වුවහොත් එයින් ලැබෙන වාසිවලට වඩා අවාසි ප්‍රමාණයද වැඩිය. ඒ නිසා මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි.
ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දැම්මේ ඇයි ?
උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවකට ඇති ප්‍රධානම උපකරණය පොලී අනුපාතය ඉහළ දැමීමයි. පොලී අනුපාතය ඉහළ දැමීම උද්ධමනය පාලනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම මහා බැංකුවකට ඇති ප්‍රබලතම අවියයි. මේ වනවිට අපේ රටේ උද්ධමනය සියයට පනස් හතරකි. උද්ධමනය පාලනය කිරීමට නම් සෑම අවස්ථාවකදීම පොලී අනුපාතය උද්ධමනයට වඩා ඉහළින් පැවතිය යුතුයි. එක්වරම විනිමය අනුපාතය අත්හැරීම, ඉන්ධන මිල වැඩි වීම වැනි කාරණා නිසා, ගෑස් මිල වැඩි වීම උද්ධමනය සියයට 54% කින් ඉහළ යාමට ප්‍රධාන හේතුවයි. ඉදිරියේදී විදුලි බිල වැඩි වීමත් සමඟ 70%ද පසුවන බවට මේ වන විටත් ඒ සම්බන්ධ විශේෂඥයින් තොරතුරු වාර්තා කර තිබේ. එලෙස වැඩි වන උද්ධමනය පොලී අනුපාතය වැඩි කිරීමෙන් පාලනය කිරීමට හැකියාවක් නැත.
ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි නොකර අධි උද්ධමන තත්ත්වයකට රටක් පත් වන්නට ඉඩ දුන්නේ නම් උද්ධමනය පාලනය කිරීමට කිසිවකුට නොහැකි වනු ඇත. ඩොලර් නැති වීමටත් වඩා අහිතකර බලපෑම් අධි උද්ධමනය නිසා ඇතිවීමට වේ. අධි උද්ධමනය නිසා ඇතැම් රටවල් මුදල් ඒකක පවා අත් හැර දමයි. ඒ නිසා අපේ රට තුළ එවැනි වාතාවරණයක් නිර්මාණය නොවීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමේ තීරණය ගැනීමට සිදුවිය.
පවතින ආර්ථික අර්බුදය නිසා පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ආර්ථික සංකෝචනයක් සිදුවීම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. පළමුවෙනි කාර්තුවේ දී ම ආර්ථික සංකෝචනය 1.5 ලෙස සටහන් වී ඇත. 2021 වර්ෂය සාපේක්ෂව 2022 වර්ෂයේ දී 7% ක සෘණ ආර්ථික සංකෝචනයක් වාර්තා විය හැකි බවට මේ වනවිටත් තොරතුරු ඉදිරිපත් වී ඇත. එය මෙතෙක් වාර්තා කළ වැඩිම සෘණ අගය වීමට ද අවස්ථාව තිබේ.
කඩිනමින් අතුරු අයවැයක් ඉදිරිපත් කර ආදායම් වැඩි කරගනිමින් වියදම් කප්පාදුවට යොමුවීමට යෝජනාවක් ඉදිරිපත් වුවත් රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය නිසාවෙන් එවැනි තීන්දු තීරණ පවා කල් දැමීමට සිදුව තිබේ. වරින් වර රජය සහ මුදල් අමාත්‍ය ධුරය වෙනස් වීමත් සමඟ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටද ගැටලු ඇති වීම සාමාන්‍ය සිදුවීමකි. මෙලෙස වරින් වර වරින් වර මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නොවුනානම් ජූලි පළමු දා සිටම අලුත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණි. ඔක්තෝබර් පළමුවැනිදා සිට ආරම්භ වන නව කාර්තුවේ දී නව ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට හැකිවේද යන්න ප්‍රශ්නාර්ථයකි.
අපේ ක්‍රමයක් ගැන හිතමු
මේ අවස්ථාවේදී රටේ උද්ගතව ඇති ගැටලුවට කෙටිකාලීන විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමයි. නමුත් මෙලෙස දිගින් දිගටම ණය ලබා ගනිමින් රටක් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නැත. ඒ නිසා ආනයනය මත යැපෙන ආර්ථිකයක් වෙනුවට අපනයන මත යැපෙන ආර්ථිකයක් ගොඩ නැංවිය යුතුයි.අපනයන ආර්ථිකයක් ගොඩනැගීම මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම දීර්ඝකාලීන විසඳුමයි. ඒ සඳහා ලෝකයේ බොහෝ රටවල්වලින් උදාහරණ සපයාගත හැකියි. බොහෝ රටවල් අර්බුදය ආශිර්වාදයක් කර ගනිමින් ආනයනය මත යැපෙන ආර්ථික රටාව වෙනුවට අපනයන ආර්ථික රටාවක් ගොඩනඟාගෙන පවතින අර්බුදයෙන් මිදීමට කටයුතු කර තිබේ.
අප සතුව මේ වන විට අවශ්‍ය තරමට ඩොලර් සංචිත නොමැතිවීම හේතුවෙන් ඉන්ධන, ඖෂධ, ගෑස් සහ අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගැනීමට බාධාවන් පැමිණ තිබේ. අනෙකුත් භාණ්ඩ හා සේවාවන් නොතිබුණත් රටකට ඉන්ධන අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතුය. ඒ නිසා මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යම දේ සපයා ගැනීම සඳහා අප සතුව ඇති ආදායම් වියදම් කළමනාකරණය ගනිමින් පවත්වා ගතහොත් යම්තාක් දුරට හෝ මේ දුෂ්කරතා මඟහරවා ගත හැකිය.
නමුත් ආනයනය කරන ප්‍රමාණයන් අඩු කර නොගෙන දිගින් දිගටම ආනයනය සඳහා ම අවධානය යොමු කළොත් අප සතුව තිබෙන මුදල් ප්‍රමාණය ද වැය වීමෙන් පසුව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සපයා ගැනීම මීටත් වඩා දුෂ්කර ක්‍රියාවක් වනු ඇත.
එමෙන්ම මේ අවස්ථාවේදී මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් උදව් උපකාර ලබාදේ යැයි බලාපොරොත්තු පෙරදැරි ව බොහෝ දෙනෙක් බලා සිටිති. ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් හෝ යම්කිසි ආකාරයකට කෙටිකාලීන විසඳුමක් ලෙසින් විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුණොත් මේ පවතින දුෂ්කරතාවයන් යම්තාක් දුරට හෝ මඟහරවා ගැනීමට අවස්ථාවක් උදා වනු ඇත. එවැනි වෙනත් කෙටිකාලීන විකල්පයන් සඳහා මේ වන විටත් විවිධ සාකච්ඡා පැවැත්වනු ලබයි.
රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහය දැක්වීමට රජයට බලධාරීන්ට මෙන්ම ජනතාවට ද මේ අවස්ථාවේදී යුතුකමක් ඇත. හැකි සෑම අවස්ථාවකදීම අත්‍යවශ්‍යම භාණ්ඩ හා සේවාවන් පමණක් මිලදී ගනිමින් වියදම් අවම කර ගැනීමට ඔවුන් කටයුතු කළ යුතුය. ඒ නිසා මේ අවස්ථාවේදී අනවශ්‍ය වියදම් සිදු නොකර හැකි අයුරින් මේ අර්බුදයෙන් මිදීමට සහයෝගය දැක්වීමට මහජනතාවට ද යුතුකමක් සහ වගකීමක් පැවරී ඇත.
•සටහන - නිරෝෂා වාසල
0 Comments