nimal-punchihewa-speaks

බොහෝදෙනෙකු මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියද ඒ සඳහා සුදුසු මානසිකත්වයක රටේ ජනතාව නොමැති අතර, ජනතාව දැන් සිටින්නේ දැඩි පීඩාවකින් සහ ආවේගයකින් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.එම නිසා මහ මැතිවරණ පවත්වන්නේ ඉන්ධන, ගෑස් පෝලිම් ළඟට ගොස්ද යනුවෙන්ද ඔහු විමසා සිටියේය. 

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිත පිරිසක් ඊයේ (28දා) මතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති මැතිවරණ සංශෝධන කෙටුම්පතේ පිටපතක් උක්වහන්සේග්ලාට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"මැතිවරණ නිදහස් සහ සාධාරණ  අයුරින් පැවැත්වීම සඳහාත්, සැබෑ ජනතා නියෝජිතයන් පත් කර ගැනීම සඳහාත් සකසා ඇති පනත් කෙටුම්පතේ පිටපතක් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට පිළිගැන්වීමටයි අද අපි මෙහි පැමිණියේය. එම යෝජනාවලිය මේ වනවිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිඅරගෙන එය පාර්ලිමේන්තුගත කරලයි තිබෙන්නේ. දැන් එය නීතිගත කරගැනීමටයි තිබෙන්නේ. ඒ සඳහා ජනමතයක් ඇති කළ යුතුයි. එම යෝජනාවලියේ ප්‍රධාන කාරණාවක් හැටියට මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වියදම් පාලනය සඳහා නීති යෝජනා කොට තිබෙනවා. මැතිවරණයකදී අපේක්ෂකයන් වියදම් කරන අති දැවැන්ත වියදම එහිදී පාලනය කිරීමක් සිද්ධ වෙනවා.

ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කොට තිබෙනවා. ජන්දයකින් තේරීපත් වී යන නියෝජිතයන් මහජන අපේක්ෂාවලට පටහැණිව ක්‍රියා කරනවා නම් ඒ අය නැවත කැඳවා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමත් මෙහිදී සිද්ධ වෙනවා. එසේම ස්ථාවර තරුණ නියෝජනයක් ඇතුළත් කර ගැනීමත් මේ තුළින් සිද්ධ වෙනවා.යෝජනා අතර තවත් ප්‍රධාන යෝජනාවක් තමයි මැතිවරණ පැමිණිලි ඉතා ඉක්මනින් අසා නිවැරදි කිරීමට මැතිවරණ විනිශ්චය අධිකාරියක් ඇති කිරීමත් මේ යෝජනාවලියේ තිබෙනවා. එසේම වෛද්‍යවරුන්, හෙදියන්, ජනමාධ්‍යවේදීන්, නිරීක්ෂණ සංවිධානවල සාමාජිකයන්, වෙළෙඳ කලාපවල සේවකයන් ඇතුළු අත්‍යවශ7 සේවාවල යෙදී සිටින බොහෝ දෙනෙකුට ඡන්දය දීමේ අවස්ථාව මඟහැරේ යනවා. මෙවැනි අයට ඡන්දය දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත් මේ තුළ යෝජනා ඇතුළත්,

මැතිවරණ කොමිසම තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමටයි.

අපි හැමවිටම මැතිවරණයක් පැවැත්වීමට  සූදානමිනුයි සිටින්නේ. නමුත් පවත්වන මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් විය යුතුයි. එවැනි මැතිවරණයක් පැවැත්වීමට නම් ජනතාව නිදහසේ සිටිය යුතුයි. නමුත් මේ මොහොතේ ජනතාව සිටින්නේ ඉතාමත් පීඩාවකින්, වේදනාවකින් සහ ආවේගයකින්. මිනිසුන් දැන් සිටින්නේ වැඩිපුරම තෙල් පෝලිම් සහ ගෑස් පෝලීම්වල. අපි ඡන්ද පොළවල් තියන්නේ තෙල් පෝලිම් ළඟට ගිහිල්ලාද? එම නිසා ප්‍රථමයෙන් කළ යුත්තේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න ලිහිල් කිරීමයි. ඒ සඳහා කොතරම් කාලයක් යයිද කියන්න බැහැ. ප්‍රථමයෙන් ජනතාවගේ ගින්න නිවට පසු අනිත් දේ කතා කළාට කමක් නැහැ" යනුවෙන්ද කියා සිටියේය. එහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා මෙසේ පැවසීය.

"මැතිවරණ කොමිසම කියන්නේ නීත්‍යනුකූල ආයතනයක්. මැතිවරණ නීතිමය රාමුව තුළ මීළඟට පැවැත්වීමට තිබෙන්නේ පළාත් පාලන ඡන්දයයි. නමුත් රටේ විවිධ කණ්ඩායම්, විවිධ පාර්ශව මහ මැතිවරණයක් අවශ්‍යයි කියා කියනවා. ඒ පිළිබඳ නීතිමය රාමුව සහ වටපිටාව සකස් වෙනවා නම් අපි මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සුදානම්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මැතිවරණය පවත්වන දින අපට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්.

නමුත් පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ලැබෙන්නේ ලබන මාර්තුවෙන් පසුවයි. වත්මන් පාර්ලිමේන්තුව වසර දෙකහමාරක් යනතුරු විසිරවීමට බලයක් නැහැ.

මේ වනවිට මේ රටේ බල හුවමාරුවක් සිදු වුවත් ශ්‍රී ලංකා රජය කියන එක බිඳවැටී නැහැ. මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත්. ඔවුන් එම වගකීම නීත්‍යනුකුලව මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙනඕනෑම අවස්ථාවක ඔවුන් ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කිරීමට බැඳී සිටිනවා. ඔක්තෝබර් මාසය අවසන් වනවිට 2022 ඡන්ද නාමලේඛනය සකස් කිරීමට හැකි වෙනවා. 2022 අංක 21 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනතින් වයස අවුරුදු 18 සම්පුර්ණ වූ තරුණයන්ට වර්ෂයකදී අවස්ථා තුනක් ලබා දී තිබෙනවා තමන්ගේ ඡන්දය ලියාපදිංචි කරගැනීමට. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 18 සම්පුර්ණ වූ සැණින් කැමැත්තෙන් ඕනෑම මැතිවරණයකදී ඒ අයට ඡන්ද අයිතිය ලබාදීමට තේරීම් කාරක සභාවෙන් අපි ඉල්ලීමක් කර තිබෙනවා මැතිවරණ වැරදි සම්බන්ධව වෙනම උසාවියක් පිහිටුවන ලෙස. එය පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි.”


(ෂේන් සෙනෙවිරත්න)