parliament-july20

ඩෙංගු වැළඳීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රෝද පුටුවලින් පාර්ලිමේන්තු සභා ගර්භයට ඊයේ (20) පෙරවරුවේ පැමිණීම විශේෂ සිද්ධියක්විය.  ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙසේ රෝද පුටුවලින් පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන්ය.

සමන්ද්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ ඔහුට සම්බන්ධ කර තිබූ සේලයින් බෝතලයක්ද සමගය. පාර්ලිමේන්තු සේවකයකු විසින් එම සේලයින් බෝතලය ඔසවාගෙන එනු ලැබීය.

රෝහලේ සිට පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනාට එසේ පැමිණි සැණින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අවස්ථාව සලසා දෙන ලදී.

ඒ සෙසු සියලු මන්ත්‍රීවරුන්ගේ අවසරය ලබා ගැනීමෙන් අනතුරුවය. දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ගිලන් රථ දෙකකින් රෝහල් වෙත නැවතත්  රැගෙන ගිය අයුරු දැකගත හැකිවීය.  මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාද අසනීප තත්වයේ පසු වන හෙයින්, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දය සලකුණු කරන කුටිය වෙත සේවකයන් දෙදෙනකු විසින් ඔහු ඉතා  අසීරුවෙන් කැඳවාගෙන එනු ලැබීය. විදේශගතව සිටි මන්ත්‍රීවරු තිදෙනෙක්ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට ඊයේ (20) පැමිණියහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු එම මන්ත්‍රීවරුන් තිදෙනාය.


  අංජුල මහික වීරරත්න