පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට සූදානම් වූ කලහකාරී අරගලකරුවන් පිරිසක් වැළැක්වීමට යෑමේදී හමුදා සෙබළුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී ඔවුන් සතුව තිබුණු ටී 56 ගිනි අවියක් සහ පතරොම් ගැබ් දෙකක් පැහැර ගැනීම සිදුව ඇත්තේ සංවිධානාත්මකව බව කොළඹ අපරාධ කොට්ඨාශය කරනු ලබන මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
ගිනි අවි දෙක පැහැර ගෙන ඇත්තේ සෙබළුන් දෙදෙනාගේ සිරුර වටා ගිනි අවිය රදවා තිබුණු පටියද කඩාගෙනය. වැඩි බලයක් යොදා එසේ ගිනි අවියම උදුරා ගැනීමෙන් පෙනී යන්නේ එම ගිනි අවි පැහැර ගැනීමේ අදහසින්ම එසේ ගිනි අවි උදුරා ගෙන ඇති බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
ගිනි අවි පැහැර ගැනීමේ චේතනාවක් එම අවස්ථාවේදී නොතිබුණි නම් ගිනි අවි පොලීසියට හෝ ආරක්ෂක හමුදාවන් වෙත මේ වන විට භාරදී තිබිය යුතු බවත් එසේ නොමැති නම් එම ස්ථානයේම අතහැර යන්නට තිබුණු බවත් එම නිලධාරියා කීය.
ගිනි අවි දෙක අතහැර ගොස් තිබේ දැයි සොයා බැලීමට ආරක්ෂක අංශ සාමාජිකයන් සහ පොලීසිය පෙරේදාත් ඊයේත් පාර්ලිමේන්තු පිවිසුම හා ඒ අවට සෝදිසියක්ද කළ බව එම නිලධාරියා සහන් කළේය. අඩුම තරමින් එම අවිවල පතරොමක්වත් හමු නොවූ බව ද ඔහු පැවසුවේය.
පාර්ලිමේන්තු පිවිසුම් බාධක කඩාගෙන විශාල පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේදී කලහකාරීව සිටි එම පිරිස විසුරුවා හැරීමට ජල සහ කුදුළු ගෑස් ප්රහාර ප්රමාණවත් නොවූ තැන හමුදාව බැටන් ප්රහාරයක් එල්ලකර තිබේ. එම ප්රහාර හමුවේ කලහකාරී පිරිස් පොල්දූව පාලම පසුකර පසුබැස ඇති බවත් හමුදා සාමාජිකයන් නැවත පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වන පොල්දූව මන්සන්දියට පැමිණෙන විට ඔවුන්ව බත්තරමුල්ල දෙසින් පැමිණි පිරිසකටත් පොල්දූව පාලම දෙසට පසු බැස ගිය පිරිසටත් කොටු වී ඇති බවත් පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
ඒ වන විට විදුලිය විසන්ධී වී තිබීම හේතුවෙන් හමුදා කණ්ඩායම කොටස් කිහිපයකට කැඩී සිටි බැවින් කළහාකාරීන් එම හමුදා කණ්ඩායම් වෙත වටකරමින් පහරදී තිබෙන බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
ගිනි අවිය පැහැර ගැනීමට ලක්වූ එක් සෙබලෙක් පොලීසියට පවසා ඇත්තේ විස්සකට වැඩි පිරිසක් තමාට වටකර යකඩ පොලු ඇතුළු පොලු මුගුරුවලින් මෙන්ම අතින් පයින්ද පහරදුන් බවය. ගිනි අවිය පැහැර ගත්තේ යැයි කියැවෙන්නේ එම පහරදීම සිදුවන අතර තුරදීය.
මේ වන විට හමුදා රෝහලේ මෙම පහරදීමෙන් තුවාල ලැබූ 30ක පමණ පිරිසක් ප්රතිකාර ලබමින් සිටිති. ඒ අයගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ප්රකාශ ලබා ගැනීමට පියවර ගනිමින් සිටී.
ගිනි අවි දෙකෙක් එකක් පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල 13 වැනිදා රාත්රී කාලයේදී බොරැල්ල පොලිස් ස්ථානයටත් දෙවැනි ගිනි අවිය පැහැර ගැනීම සම්බන්දයෙන් වූ පැමිණිල්ල පෙරේදා (14) වැලිකඩ පොලිස් ස්ථානයටත් ලැබී තිබේ.
(ගයාන් කුමාර වීරසිංහ)
0 Comments