ජනපති ගෝඨාභය රාජපක්ෂ වාසය කළ ජනපති මන්දිරය මේවනවිට අරගලකරුවන්ගේ නැරඹූම් ස්ථානයක් බවට පත්ව ඇති අයුරු අද දින විදෙස් වාර්තා ගණනාවකින් පෙන්නුම් කෙරිණි. සෙනසුරාදා ජන අරගලය ජනපති මන්දිරය අත්පත් කරගත් පසු මේ වනවිට කැමති කෙනෙකුට ගොස් බලන්නට හැකි ස්ථානයක් බවට පත්කර ඇත.


ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාමරය, කායවර්ධන මධ්‍යස්ථානය, ක්‍රීඩාංගණය, පිහිනුම් තටාකය සහ රැස්වීම් ශාලාව ආදියට එහිදී ජනතාවගේ දැඩි අවධානයට යොමුවූ අතර ඇතැමුන් කායවර්ධන මධ්‍යස්ථානයේ, ක්‍රීඩාංගණය සහ පිහිනුම් තටාකයේ ක්‍රියාකාරකම්වල යෙදී සිටි ආකාරය ද දැකගත හැකිවිය. ජනාධිපති මන්දිරයේ ඇඳන්වල තරුණයන් නිදා සිටින ආකාරය ද දැකගත හැකි අතර ඇතැම් තරුණියෝ එම පරිශ්‍රයේ බිම නිදා සිටින ආකාරය දැකගත හැකිවිය. තරුණ තරුණියෝ ජනාධිපති මන්දිරය අතුගාමින්  පිරිසුදු කරන ආකාරය ද ඊයේ පෙරවරුවේ දැකගත හැකිවිය. මෙහිදී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ජනාධිපති මන්දිරය නැඹීමට එක්ව සිටීම කැපී පෙනුණි. 



ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට ද ජනතාව ඊයේ පෙරවරුවේ සිට රොක්ව සිටින අතර ඒ අසළ තිබෙන අරගලකරුවන් රැඳී සිටින  ‘ගෝඨා ගෝ ගම' ලෙස හඳුන්වන ප්‍රදේශයේ ද විශාල ජනකායක් රැඳී සිටියහ. ‘ගෝඨා ගෝ ගම' ස්ථාපිත කර තිබූ පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කිරීමට අරගලකරුවෝ ඊයේ පියවර ගත්හ. අරලිය ගහ මන්දියර නැරඹීමට ද විශාල ජනකායක් ඊයේ පෙරවරුවේ පැමිණ සිටි අතර එම පරිශ්‍රයේ ගාලු පාරට මුහුණලා තිබෙන දොරටුවේ තාප්පයේ ‘ජනතාව  සඳහා විවෘතයි" යනුවෙන් විශාල දැන්වීමක් තින්තෙන් ඇඳ තිල්ලෙන ආකාරය දක්නට ලැබිණ. මෙම ස්ථානවල සිටින අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සාමාජිකයෝ අඛණ්ඩව පැමිණෙමින් අරගලය අවසන් වන තෙක් සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ සමග පළවන්නේ ජර්මනියේ ඩොච්වෙලා (DW)ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව ඒසම්බන්ධ ගෙන ආ වීඩියෝව හා එම ඡායාරූපයි.