මේ වනවිට ජනතා අරගලය මගින් අත්පත් කරගෙන ජනතා නැරඹුම් ස්ථානයක් බවට පත්ව ඇති කොටුව ජනපති මන්දිරයේ යටගියාව ගැන කරුණු කිහිපයක් මෙසේය.
ලන්දේසි යටත් විජිත යුගයේදී නිර්මාණය කරන ලද බව කියන මුලින් කිංග්ස් හවුස් හා පසුව ක්වීන්ස් හවුස් නමින් ඉංග්‍රීසි යුගයේ හඳුන්වනු ලැබූ
මුලින්ම දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස මෙය ඉදි කරන ලද්දේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ එංගල් බීක්ය.
පෘතුගීසි සමයේ දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කළේ මෙම ස්ථානයේ බව පැවසෙන අතර ශාන්ත ප්‍රැන්සිස්කන් පල්ලිය පිහිටා තිබූ මෙය සුසාන භුමියක ඉදිකළ රාජකීය මන්දිරයක් වීමද විශේෂිතය.
මෙම සුවිශේෂ ගොඩනැගිල්ල පැරණිතම ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව සාදා තිබෙන්නෙකි. කෙසේ වෙතත් මෙය සුප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා විසින් නවීකරණය කරන ලද්දේ 1970 දශකය අග භාගයේදීය.
මෙය ජනාධිපති මන්දිරය ලෙස නම්කර තිබුණත් සැබැවින්ම මෙහි වාසය කිරීම හා ජනපති නිල කටයුතු යන දෙකටම භාවිතකර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් දෙන්නෙකු පමණි.
ඒ 1962-77 කාලයේ විලියම් ගොපල්ලව හා 1993-94 කාලයේ ඩීබී විජේතුංග පමණි. ජේ ආර් ජයවර්ධන,රණසිංහ ප්‍රේමදාස,චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන හෝ ගෝඨාභය රාජපක්ෂ මෙම මන්දිරය සිය වාසභූමිය කරගත්තේ නැත. බොහෝ විට නිල කටයුතු සඳහා පමණක් යොදාගත් අතර ගෝඨාභය අවසන් කාලයේ මිරිහානේ නිවසේ සිටින්නට බැරි නිසා මෙහි පැමිණ පදිංචි විය.
ලන්දේසි ආණ්ඩුකාරවරයෙක් හා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙක් මෙම ස්ථානය සිය නිල නිවස ලෙස භාවිතා කර ඇති බව ඉතිහාසයේ සටහන්වේ.
ඉංග‍්‍රීසීන් කොළඹ කොටුව යටත් කරගන්නා විට අලුත සෑදූ මෙම මන්දිරය අත්හරින්නට ලෝබවී එංගල් බීක් ලන්දේසි ආණ්ඩුකාරයා එහි රැඳී සිටි බවත් පසුව මේ මන්දිරය ඔහුගේ මිණිපිරිය වූ ජැකොමිනාට අයත් වුණ බවත් ඉතිහාසයේ සඳහන්වේ. ඇයගෙන් බ්‍රිතාන්‍ය පාලකයන්ට මෙය අත්වූයේ මුදල් පියවීමේ ඇතිවූ ගැටලුවක් නිසාය. ඇයගේ සැමියා වූ ඉංග‍්‍රීසී ආණ්ඩුවේ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි නමැති ප‍්‍රධාන ආදායම් නිලධාරිවරයාට සිය ගිණුම් පියවීමට යාමේදී ඇතිවූ දෝෂයක් නිසා විශාල මුදලක් අස්ථානගතවී ගැටලුවකට මුහුණදී තිබෙන අතර ඔහුට පවුම් දස දහසක මුදලක් ආණ්ඩුවට ලබාදිම වෙනුවෙන් හුවමාරු වටිනාකමක් ලෙස මන්දිරය ආණ්ඩුවට ලබාදීමට සිදුවූ බව පැවසේ.
1804 ජනවාරි 17 දින ඉංග්‍රීසීන්ට අයත්වූ මන්දිරය ආණ්ඩුකාර ප්‍රෙඩ්රික් නෝත්ගේ පදිංචි ස්ථානය වූ අතර පසුව තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා ලබාගත් පසු කිංග්ස් හවුස් නමින් හඳුන්වා තිබේ. 1837 වික්ටෝරියා රැජිණ එංගලන්තයේ බලයට ඒමෙන් පසු එය ක්වින්ස් හවුස් බවට වෙනස් විය.
මුල්කාලීන ඕලන්ද ගොඩනැගිලි ලක්ෂණ සමග බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ පසුකලෙක මෙය ප්‍රතිසංස්කරණය කරද්දී එක්විය.
පහත මාලය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව සැකසුණු එකක් වුවත් ඉහළ මාලය බ්‍රිතාන්‍ය අංග ලක්ෂණ පෙන්නුම් කරයි.
2005-2010 මහින්ද රාජපක්ෂ ජනපති සමයේ යුද්ධයේ හදිසි අවශ්‍යතා මතුවූවොත් යන අදහසින් මෙහි කාමරයක බිත්ති කවුළුවකින් ඇතුළුවී යාහැකි පහළ තැනක නිර්මාණය කරන ලද භූගත මන්දිරයක්ද නිර්මාණය කෙරිණි.එහි පිටවුම් දොර යොමු වන්නේ වරායේ රහසිගත ස්ථානයකටය.
විදේශිකයන්ගෙන් පසු 1962 මුල්වරට විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාර බවට පත්ව මෙය පදිංචියට හා නිල කටයුතු සඳහා භාවිතයට ගැනීම සිදු කළේය.ඔහු 1972 නාමික ජනපති පදවිය ලද පසුද මෙහිම සිටියේය.
1978 දී විධායක ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මෙහි පදිංචි වූයේ නැති අතර ජෙෆ්රි බාවා ලවා එහි ප්‍රතිසංස්කරණ කටයුතු කරවා පසුව විදේශ රාජ්‍ය නායකයන් හමුවීම, තානාපතිවරු පත්කිරීම වැනි නිල කටයුතුවලට ජනාධිපති මන්දිරය යොදාගත්තේය.
1989 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඊට පෙර අගමැති ධූරය දරද්දී පදිංචිව සිටි අරලිය ගහ මන්දිරය තමාට වඩා හොඳ යයි පවසමින් එය ජනපති කටයුතු සඳහා හා පදිංචියට යොදාගත් අතර මෙම මන්දිරය භාවිත කරේ නැත.නමුත් ප්‍රේමදාස මහතා ඝාතනයෙන් පසු ටික කලක් බලයේ සිටි ඩීබී විජේතුංග මෙහි පදිංචියට ආවේය. පසුව චන්ද්‍රිකා,මහින්ද දෙන්නාද මෙය ප්‍රතික්සේප කළ අතර අරලියගහ මන්දිරයේ දිගටම සිටියෝය. මෛත්‍රිපාල සිරිසේන තම විජේරාම නිවසේ වාසය කළ අතර ඇතැම් නිල කටයුතු පමණක් මෙම මන්දිරයේ සිදු කළේය.
වත්මන් ජනපති ගෝඨාභයද මෙම මන්දිරය නිල කටයුතු සදහා පමනක් බාවිත කළ අතර මිරිහාන නිවසේ ආරක්සා ප්‍රහ්නය මත මෙම නිවසේ පදිංචියට ආවේ මීට මාස 2 කට පමණ පෙර සිටයි.
බ්‍රිතාන්‍ය යුගයට අයත් චිත්‍ර සහ ගෘහ භාණ්ඩ, රාජ්‍ය නායකයන් තෑගි කළ සමරු භාණ්ඩ රාශියක් ද ජනපති මැඳුරේදී දැකගත හැකිය.
ආරුක්කු සහිත පිටත බිත්ති හා අභ්‍යන්තරයේ ශක්තිමත් දැවමය නිර්මාණ ආනයනය කරන ලද වටිනා විදුලි උපකරණ ද, ගෘහ භාණ්ඩද දක්නට ලැබෙයි.
දිගු කලක් පොදු ජනතාවගෙන් වසන් වී පැවති ජනාධිපති මන්දිරය මෛත්‍රිපාල සිරිසෙන ජනපති වූ පසුව 2016 වර්ෂයේ ජූනි මාසයේ සතියක් පුරා ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කළ අතර මහින්ද රාජපක්ෂ ඉදිකළ භූගත මන්දිරය ගැනද විශේෂ වැඩසටහන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. ඒදිනවල පැවති මහමැතිවරණ ප්‍රචාරණයක් ඉලක්ක කර එහිදි කියැවුනේ ජනතාවගේ මුදල් නාස්ති කර භූගත මන්දිර ඉදිකර ඇති බවකි.
වර්තමානයේ අරගයෙන් පසු අවස්ථාවේ මෙන් එම අවස්ථාවේදීද රට වටා විශාල පිරිස් පාසල් සිසුන්ඇතුළු දහස් ගණනක් ජනාධිපති මැදුර නැරඹීමට පැමිණ තිබුණි.
0 Comments