qr-test-fuel

කිව් ආර් කේතයට අනුව ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. කොළඹ ප්‍රදේශයේ පිරවුම්හල් හයක් මුල් කරගනිමිනුයි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ.

මේ අතර කිව් ආර් කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළ ලබන 25 වනදා ආරම්භ වන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ විධිමත් කිරීමේ අරමුණින් කිව් ආර් කේතයට අනුව ඉන්ධන ලබාදීම සදහා වාහන හිමිකරුවන් ලියාපදිංචි කිරීම පසුගියදා ආරම්භ කෙරුණා. එය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. වැඩපිළිවෙළ දිවයින පුරා ආරම්භ කිරීමට පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ප්‍රදේශයේ පිරවුම්හල් හයක් ආශ්‍රිතව එය ක්‍රියාවට නැංවීමටයි කටයුතු කර ඇත්තේ.



මේ අතර වාහනයේ අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබාදීම අද සිට සීමාවන් කිහිපයක් යටතේ සිදු වනවා. ඒ අනුව යතුරුපැදියකට රුපියල් එක්දහස් පන්සියක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙන අතර ත්‍රීරෝද රථයකට ඉන්ධන නිකුත් කෙරෙන්නේ රුපියල් දෙදහසක උපරිමයකට යටත්වයි.

අනෙකුත් රථවාහන සදහා රුපියල් හත්දහසක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාගත හැකියි.

රථවාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අනුව අද දිනයේ ඉන්ධන නිකුත් කෙරෙන්නේ 3,4,5 යන අංක සදහා පමණයි. අවසන් අංකයට අනුව ඉන්ධන නිකුත් කෙරෙන දින වකවානුද මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවද ඛනිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සදහන් කළේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට  ටැංකි රථ යොමු කරන ලෙස තමන්ට තවමත් කැදවීමක් සිදු කර නැති බවයි.