ranil-dinesh-fonseka-susil-wijedasa

ඊයේ ජනාධිපති හැටියට රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමෙන් පසු එතෙක් අගමැති ධූරය දැරූ රනිල්ට එම තනතුර ඉබේ අහිමිව ගිය අතර ව්‍යවස්ථාවේ හැටියට ඔහු විසින් අගමැතිවරයෙකු ඉක්මණින් පත්කරනු ලැබ ඒ යටතේ කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට අවශ්‍ය වේ.
ජුලි 09 කලබල ඇතිවූ අවස්ථාවේ පක්ෂ නායකයින් රැස්වී අගමැතිවරයෙකුද පාර්ලිමේන්තු ඡන්දයෙන් පත්කරන්නට යෝජනාවී නමුත් එය පසුව වෙනස් විය. එසේම වැඩබලන ජනපති ලෙස රනිල් පත්වූ පසුද තමාට අගමැති කෙනෙකු උවමනායි යනුවෙන් රනිල් කතානායකට දන්වා සිටියත් පසුව එම ඉල්ලීමද වෙනස් විය.පැවැත්වූයේ ජනපති තෝරන ඡන්දයක් පමණි.


ඊයේ රාත්‍රී ගංගාරාමයේ පැවති ආගමික වතාවත් සඳහා නව ජනපති රනිල් සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය ඇසූ ඊළග අගමැති කවුද යන ප්‍රශ්නයට ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නා කෙනෙකු ව්‍යවස්ථාවේ හැටියට තමා අගමැති ලෙස නම්කරන බවයි. ඒ සමගම ඔහු විහිළුවට කියා සිටියේ තම පක්ෂයේ සිටින්නේ තමා පමණක් නිසා තමාට කෙනෙකු නැති බවයි.

රනිල් ජනපති ලෙස පත්වන්නේ ජන අරගලයකින් පැවති ආණ්ඩුවට විශාල පීඩනයක් එල්ල කර හිටපු ජනපතිට රටින් පළායන තැනට වැඩ සිද්ධ කළ පසුය. එයින් ලබාදුන් පණිවිඩය වූයේ එම පොහොට්ටු ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන පවතින අප්‍රසාදයයි. මැයි 09 ගෙවල් ගිනිගත්තේද පොහොට්ටුවේ අයගේය. මේ නිසා ජනතාව හමුවට ගොස් වැඩ කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන්ට තවම ශක්තියක් නැත. ඊයේ ඡන්දය ලබාදීමේදී තමන් බැසිල්ගේ නියෝජිතයෙකු ලෙස හංවඩු ගැසුණ රනිල්ට ඡන්දය දෙන බව කියන්නටද පොහොට්ටු මන්ත්‍රීවරුන් මැළිවිය. අවසානයේ මහින්ද පවා එය සැගවූයේ හාස්‍ය ජනක ලෙසයි.

මෙවන් පසුබිමක් යටතේ නැවතත් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවීම සැබැවින්ම හිසරදයට කොට්ට මාරු කිරීමකි. අරගල කළ ජනතාව මෙන්ම නිවසෙහි සිට අරගලයට සිතින් සහය දක්වන ජනතාව මේ නිසා කලකිරීමට පත්වන අතරම තවත් මාස කිහිපයකින් පවත්වන මැතිවරණයකදී ඒ අයට යන එනමං නැතිවන තත්වයක් නිර්මාණය වනු ඇත.

රට ගැන කල්පණා කළත් ආර්ථික වශයෙන් පවතින පරිහානිය එන්න එන්නම දරුණු මට්ටමකට යන නිසා තව දුරටත් ‘ෆේල්‘ ආණ්ඩුවක් පිහිටුවීම තාවකාලික වින්දනයක් පමණි. රනිල්ගේ උපාය මෙහිදී ‘මුහුණුවර වෙනස් කිරීමක්‘ යයි දේශපාලන ආරංචි පවතී.

මේ හේතුවෙන් ඔහු විපක්ෂයේ කෙනෙකුට අගමැති ධූරය පිරිනමා පොහොට්ටුව මගින් බලගැන්වූ ‘සර්ව පාක්ෂික මුහුණුවරක්‘ ඔහුගේ නව රජයට ආදේශ කරනු ඇතැයි ඒ අනුව පෙනෙන්නට තිබේ. ඒ අනුව දැනට අගමැති ධූරය සඳහා නම් 4 ක් යෝජනාවී ඇති අතර ඒ අය අතර අනුපිලිවෙලට සරත් ෆොන්සේකා,විජේදාස රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන හා සුසිල් ප්‍රේමජයන්ත නම් කියැවේ.

පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියේ කියා සිටියේ රනිල් ජනපති යටතේ තමා කිසිසේත් අගමැති පදවියක් භාර නොගන්නා බවයි.


ඒ අනුව විපක්ෂයේ සරත් ෆොන්සේකාට අගමැති ධූරයක් පිරිනැමීම හරහා ‘සර්ව පාක්ෂික මුහුණුවරක්‘ නව රජයට ගෙන දීමට රනිල් අපේක්ෂා කරයි. තවම ඒ ගැන ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් සිදු කර නැත. ඔහුගේ පැත්තෙන් සැලකුවොත් මෙය විශාල ඉදිරි පිම්මකි. මින් ඉහත බැසිල්ගේ පසුබිමේ ගෝඨාභයගේ යෝජනාවක් වූයේත් අගමැති තනතුරට ෆොන්සේකා පත් කළොත් පවතින විරෝධතා රැල්ලට අස්වැසිල්ලක් උදාකරදී ආණ්ඩුවේ පැවැත්ම රැක ගත හැකිය යන්නයි. නමුත් ෆොන්සේකා ගෝඨාභයගේ ඉල්ලා අස්වීම මත පමණක් තනතුරු භාරගන්නා බව කියා සිටියෙන් එම අවස්ථාව නොලැබ ගිය අතර දෙවැනි වාසනාවන්තයා වූ රනිල් පත්විය. කෙසේ වෙතත් දැන් මේ යෝජනාවම ෆොන්සේකාට සිදු කරන්නේ නම් ඔහු කැමතිවීමටද ඉඩක් ඇත. දැන් ගෝඨාභය රටේත් නැති නිසාය.

ෆොන්සේකාට එය බාරගන්නට බැරි නම් විජේදාස රාජපක්ෂගෙත් නම යෝජනාවී ඇති අතර විජේදාසගෙන් අපේක්ෂා කරන්නේත් මේ කියන ‘සර්ව පාක්ෂික‘ මුහුණුවර ලබාගැනීමයි.කෙසේ වෙතත් පසුගිය කාලයේ අපකීර්තිමත් ‘ඩීල්‘ කිහිපයක් නිසා ඔහුගේ නම විපක්ෂය තුළ පිළිගැනීමක් නැති තත්වයක පවතී.

මෙම අවස්ථාවේ අගමැතිවරයෙකු පත්කිරීම උපායකින් තොරව ඉතා සාම්ප්‍රදායිකව සිදු කරන්නේ නම් රනිල්ගේ පාසල් කාලයේ සිට එක පන්තියේ ගජ මිතුරා වූ දිනේෂ්ට මෙම අවස්ථාව ලැබෙනු ඇත. දිනේෂ් උගුර කඩාගෙන රාජපක්ෂලා වෙනුවෙන් මේ තාක් කාල් පාර්ලිමේන්තුවේ කෑගැසූවත් නිසිතැනක් කවදාවත් නොලැබුණ අසාධාරණයට ගොදුරු වූවෙකි. සත්‍ය ලෙස සලකන්නේ නම් ඔහු අගමැති ධූරය ලබාගතයුතුව තිබුනේ මීට බොහෝ කලකට පෙරයි.

  මෙම අවස්ථාවේ රාජපක්ෂලා දිනේෂ්ව තෝරන්නේ නම් රනිල් දිනේෂ්ට අවස්ථාව ලබාදෙන්නටද බැරි නැත.

දිනේෂ් ළඟට සුසිල් ප්‍රේමජයන්තගේ නමද අගමැති තනතුරට කියැවේ. ඔහු ජ්‍යෙෂ්ඨයෙකි. නීතීඥයෙකි. එසේම ඔහු රනිල් ජනපති කිරීමේ කාර්ය බාරය තුළ විශාල වැඩ කොටසක් අභ්‍යන්තරයේ සිට කළ බව කියැවේ. ඔහුගේ සම්බන්ධීකරණ කටයුතු මෙම තනතුර ලබාගැනීමට බෙහෙවින් ඉවහල්වූ නිසාම කෘතගුණ දැක්වීමක් ලෙස ඔහුට අගමැති ධූරය ලබාදෙන්නට යන බවක් කියැවිණි. කෙසේ වෙතත් සුසිල්ට තනතුර දෙනවාට රාජපක්ෂලා දිනේෂ්ට තරම් උනන්දු නොවනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. අනතුරුව අගමැති ධූරය ඉක්මණින් නම් කරනු ඇතැයිද වාර්තා පළවේ.