ranil-dulas-slpp

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ඩලස් අලහප්පෙරුම ලබනසතියේ ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉල්ලන්නට සූදානම් බවට ප්‍රකාශ වී තිබියදී විශේෂ ප්‍රකාශයක් කළ එම පක්ෂයේ මාධ්‍ය ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ ඩලස්ට නොව රනිල්ට සහය දෙන්නට පක්ෂය තීරණය කළ බවයි.


නමුත් ඊට පැය කිහිපයකට පසුව පක්ෂයේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් දන්වා සිටින්නේ සහය දිය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයා වන ඩලස් අලහප්පෙරුමට බවයි.
ලබන 20 වනදා සිදු කරන ඡන්ද විමසීමේදී වෙනත් පක්ෂවල ජනපති අපේක්ෂකයන් ලෙස මේ වනවිට සජිත් ප්‍රේමදාස, මෛත්‍රිපාල සිරිසේන ආදීන්ගේනම් ප්‍රකාශ වෙමින් පවතින අතර මීට අමතරව අගමැති අපේක්ෂකයින් ලෙස දිනේෂ් ගුණවර්ධන, හර්ෂ ද සිල්වා ආදීන්ගේ නම්ද ප්‍රකාශවී තිබේ.
මුලින් අගමැති අපේක්ෂකයෙකු තෝරන්නට නියම වූ අවස්ථාවේ විපක්ෂයෙන් කියැවුනේ සජිත්ගේ නම පමණි.

රනිල් වික්‍රමසිංහ යනු පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයෙකු වීමත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවේ සියයට 5 ට වැඩි ඡන්ද ලබාගත් පක්ෂයකට පිරිනමන බොනස් ආසනයට පිං සිදුවන්ට බවටත් විවේචන පවතී. මුලින් රුවන් විජේවර්ධන එවන බව පවසා වසරක පමණ ප්‍රමාදයකින් පසු රනිල්ම පාර්ලිමේන්තුවට පැමිණි අතර පසුපස ආසනයක වාඩිවූයේ මින් පෙර රටේ දැරූ තනතුරු අමතක කරමිනි. කාලයක් විපක්ෂයක නායකයෙකු හා අගමැතිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ බැබළුණ ඔහු මෑතකාලයේ බංකොලොත්වූ පක්ෂයක එකම අපේක්ෂකයා විය.
කෙසේ වෙතත්  බැසිල් රාජපක්ෂගේ තියුණු උපායෙන් ඔහුගේ එම දුබලතාව වාසියක් බවට පත්කරගත්තේ ඔහුට අගමැති තනතුරු පිරිනමා එම හිළව්වට පොහොට්ටු ආණ්ඩුව බේරාගැනීමේ කොන්ත්‍රාත්තුවකට බව දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.
ඒ අනුව පසුගිය කාලයේ රනිල්ට ‘ඩීල් කාරයා‘ යන නමද පට බැඳුණි.


අරගල කරුවන් ‘නෝඩීල් ගම‘ ලෙසද අරලිය මැදුර අසළ බෝඩ් ගසා තිබුණි.
මෙම පසුබිමේ  නිකංම සිටි මන්ත්‍රීවරයා අගමැති වීමත් අනතුරුව අනුප්‍රාප්ත ජනපති වීමත් ලෙහෙසි පහසු වාසනාවක් නොවේ.

කෙසේ වෙතත් ගින්නට බියට හසුවී විනාශවී ඇති පොහොට්ටු පක්ෂය දැන් කල්පනා කරන්නේ ඉතිරි කාලය කරදරයකින් තොරව වාසය කිරීමටය.ලොකු තනතුරු නැතත් පාඩුවේ සිටීමටය. තවදුරටත් නඩු වලට පැටළී කරදර නොවන්නට හැකි පරිසරයක් සකස් කළ හැක්කේ රනිල්ට පමණිය යන විශ්වාසය ඔවුනට තිබේ.

රනිල් පොහොට්ටුවේ රාජපක්ෂ හිතවාදීන්ගේ ආරක්ෂකයා වන්නේත් අනාගත නායකයා වන්නේත් ඒ පසුබිමේය. රනිල් ආවොත් ඉදිරි කාලය ටිකක් හෝ යහපත්ය යන්න ඔවුන් පුද්ගලිකව කල්පනා කරනු ඇත.

කෙසේ නමුත් මැයි 09 මහින්දත්, ජුනි 09 බැසිලුත් ජුලි 15 ගෝඨාභයත් නිල වශයෙන් ඉවත්වීම නිසා රටේ රාජපක්ෂලාට දැන් ලොකු තැනක් නැත. රාජපක්ෂලා වෙනුවෙන් පක්ෂයේ පැවැත්ම රැකගන්නට උත්සාහ දැරීමත් තාවකාලික අරමුණක් පමණි.

145 ක් පමණ පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙම පොහොට්ටු පක්ෂයේ පිරිස් දැන් කෑලි වලට කැඩී ගොස්ය.
විමල් මෛත්‍රී ඇතුළු පක්ෂ 10 ක සහය නැතිවා සේම ඩලස් ඩිලාන් අනුර යාපා ඇතුළු කණ්ඩායම්ද වෙන අරමුණු වලට ගොස්ය. මේ සියල්ලන් එක්තැන් කළ හැකි රාජපක්ෂ කෙනෙකු දැන් බලයේ නැත.
ජී එල් පීරිස් විසින් ඩලස් ජනපති කරනු ලබන්නට පෙළැඹෙන්නේ මෙම පසුබිමේය.
රටම බලාසිටින්නේ නායකයෙකු පැමිණ ඉක්මණින් රට යථා තත්වයට පත් කරන තෙක්ය. නමුත් මෙම කණ්ඩායමේ අය සොයන්නේ ගැලවිජ්ජාව පිණිස චරිතයකි. රටට වෙන්නට යන දේ ගැන තැකීමක් නැතුවා සේය.
මේ බෙදීම ඒ නිසාය.