ranil-dullas-voting-devide

පාර්ලිමේන්තුවේ හෙට (20) පෙරවරුවේ පැවැත්වෙන අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ තරගය මේවනවිට උණුසුම් මුහුණුවරකට හැරී ඇත. සජිත් තරගයෙන් ඉවත්වී ඔහුගේ ගොඩ ඩලස්ට යොමු කිරීම සමග මෙම උණුසුම වර්ධනය විය. ඊට හේතුවී තිබෙන්නේ සජිත් තරග කළේ නම් තුන් කොන් සටනක් මතුවී වැඩි වාසි රනිල් පිලට අත්වන්නට ඉඩ තිබුණ බැවිනි. දැන් ඩලස්-රනිල් අතර සටනක් ලෙස එය මතුව තිබීමත් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙකඩ කඩන්නට මෙම කාරණාව හේතුවීමත් නිසා අවසන් මොහොත වනතුරු ජයග්‍රාහකයා ගැන සිතන්නට අපහසු තීව්‍ර මට්ටමක් මතුව තිබේ.


රහස් ඡන්දයක් ලෙස මෙම ඡන්ද විමසීම පැවැත්වෙන නමුත් පාර්ලිමේන්තු ආසන අඩුවෙන් ඇති සුළු පක්ෂ බොහෝ ඒවා කල් ඇතිවම තමන් ඡන්දය ලබාදෙන්නේ කවර අපේක්ෂකයාටද යන්න අද (19) සවස පවසා තිබේ. මෙයට එක් හේතුවක් වන්නේ ඡන්දය දිනූ පසු තමන් අයිතිවන්නේ කවර ගොඩටද යන්න ජයග්‍රාහකයා තේරුම් ගෙන අදාළ පුද්ගලයාට හෝ පක්ෂයට සැලකුම් ලබාගැනීමට ඇති වාසියයි. ඒ අතරම රනිල් පිලට ඡන්දය ප්‍රකාශ කරන අය ප්‍රසිද්ධියේ කියන්නට උනන්දු නොවේ. ඊට අරගලකරුවන්ගේ පීඩනයද හේතුවූවා විය හැකිය.

මේ වනවිට ඩලස්ට සහය දෙන බවට ප්‍රකාශවී ඇති පක්ෂ හා කන්ඩායම් මෙසේය
  • සජිත් ප්‍රෙමදාස තහවුරු කළ පරිදි සමගි ජන බලවේගය
  • දයාසිරි තහවුරු කළ පරිදි  ශ්‍රිලනිපය
  • විමල් වීරවංශ තහවුරු කළ පරිදි ගම්මංපිල වාසුදේව ප්‍රමුඛ ස්වාධීන පක්ෂ එකමුතුව
  • මහලේකම් නිසාම කාරියප්පර් තහවුරු කළ පරිදි මුස්ලිම් කොංග්‍රසය
  • නායක මනෝ ගනේෂන් තහවුරු කළ පරිදි දමිළ ප්‍රගතිශීලී සන්ධානය
  • රිෂාඩ් බදුර්දීන් තහවුරු කළ පරිදි සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය
  • අනුර ප්‍රියදර්ශන යාපා මහතා තහවුරු කළ පරිදි ඔහු ඇතුළු පොහොට්ටුවේ ස්වාධීනවූ 6 ක් ඩලස්ට සහය දෙනු ඇත.
  • දෙමළ ජාතික සන්ධානය (TNA) ඩලස්ට සහය දෙන බව තහවුරු කර ඇත.
  • මහාචාර්ය චන්න ජයසුමන තහවුරු කළ පරිදි පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි නවකයන් හා වෘත්තීයවේදීන් 
  • පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ හෘද සක්ෂියේ දසදෙනාගේ කණ්ඩායම ද ඩලස්ට සහය දිමට තීරණය කර ලිපියකින් දන්වා  ඇත.
    (අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නීතිඥ උදයන කිරිඳිගොඩ,  නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල,කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල, රත්නපුර දිස්ත්‍රික මන්ත්‍රී අකිල එල්ලාවල )

මේ අතර රනිල්ට සහය දෙන බවට සජබ එක් මන්ත්‍රීවරයෙකු පවසා තිබේ.සජබයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා එලෙස රනිල්ට සහය දෙන බවත් එය තම පුද්ගලික තීරණයක් බවත් පක්ෂය දැනුවත් කළ බවත් පවසා ඇත.
මේ අතර මන්ත්‍රී ආසන 2 ක් හිමි දෙමළ ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ගේ සභාපතිත්වයෙන් යුත්   (TNPF) ජනාධිපතිවරණය සඳහා නම් කර ඇති කිසිදු අපේක්ෂකයෙකුට සහය දක්වනේ නැතැයි පවසා තිබේ.



මේ අතර රනිල්ට සහය දෙන ඇතැම් පක්ෂ හා කන්ඩායම් ප්‍රසිද්ධියේ තම මනාපය හෙළි කර නැතත් ඔවුන් අනුමාන කරන්නට හැකිය. ඒ අනුමානය අනුව
  • ද්‍රවිඩ ජාතික සන්ධානයේ (TNA) සහාය  හා ශ්‍රිලනිප සහය කොටස් වශයෙන් රනිල් - ඩලස් අතර බෙදෙනු ඇතැයි අනුමාන කෙරේ.
  • පොහොට්ටුවේ රාජපක්ෂ හිතවාදී කණ්ඩායම රනිල්ට බවට අනුමාන කෙරේ
  • සජබයෙන් වෙන්ව ගිය ඩයනා හරින් හා මනුෂ රනිල්ටය.
  • විග්නේෂ්වරන් (TMTK) ගේ සහාය රනිල් ට අනුමාන කෙරේ.
  • ඩග්ලස් දේවානන්ද (EPDP) කණ්ඩායම සිටින්නේ රනිල් සමඟ යයි අනුමාන කෙරේ.
  • අවසාන කාලයේ අගමැති රනිල්ට දැක්වූ පක්ෂපාතිත්වය නිසා නුවරඑළියේ දිගම්බරම් සහ උදයකුමාර් රනිල්ට යයි අනුමාන කෙරේ.


ඉහත කන්ඩායම් හා පක්ෂ වලට අමතරව මුදලට හසුවුණ හෝ අනාගත තනතුරුවලට හසුවුණ අය අවසන් මොහොත දක්වා ගනු ලබන තීරණ පැහැදිලි නැති බවද සැලකිය යුතුය.