අද දහවල් කාලයේ සිට රටේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය මත විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සවස 5 ට කැඳවා තිබූ අතර එහිදී අගමැති ජනපති ඉල්ලා අස්වීම, අනුප්‍රාප්තික ජනපතිවරයෙකු පත්කිරීම, පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් ඇතිවුවහොත්සිදු කරන දේ ආදී වැදගත් මාතෘකා සාකච්ඡාවට ලක්කරන්නටත් විශේෂයෙන්ම ඔඩුදුවන ප්රචණ්ඩත්වය දෙස ලෝකයම බලා සිටින මේ මොහොතේ එය නතර කිරමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනත් සාකච්ඡා කිරීමට උවමනා විය.
මේ වනවිට ජනපතිවරයෙකු රටේ නැති කැබිනට් මන්ඩලයක් රැස් නොවන අරාජක තත්වය හමුවේ ඉදිරි පැය කිහිපය තුළ ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට මෙහිදී අපේක්ෂා කෙරිණි. මේ සඳහා පක්ෂ නායකයින් නොවන නමුත් අවස්ථාවට අවශ්‍ය අය නිසා ත්‍රිවිධ හමුදා ප්‍රධානින්ටද කතානායකවරයා ආරාධනා කර තිබුණි.
නමුත් අවාසනාවට මෙම සාකච්ඡාව සඳහා අද දින ජනපති ධූරයේ වැඩභාරගත් හා වැඩ භාරගත් විගස ඇඳිරි නීතිය පැනවූ අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණ තිබුනේ නැති අතර ඔහු එය මග හැරියේය.
ආරාධනා ලද සියලු පාර්ශ්ව ඉතා උනන්දුවෙන් ඊට සහභාගී වී තිබුණි.
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පස්වරු 5.00 ට එක් රැස්වූ පිරිස
රටේ මතුවී ඇති උණුසුම්කාරී තත්වය සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාව ඇරඹූ අතර
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායකයෝ වැඩි දෙනෙකු කියා තිබුණි. මේ ගැන විමසන්නට රනිල් සිටියේ නැත. කෙසේ වෙතත් අවසානයේ රනිල්ට වහාම ඉල්ලා අස්වන්නට දන්වන්නට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සාකච්ඡාවෙන් අනතුරුව පැවසීය.
එසේම විරෝධතාකරුවන් යම් හෙයකින් පාර්ලිමේන්තුවට ඇතුල් වීමට උත්සාහ දරනු ලැබුවොත් එය වැළැක්වීමට බලය යොදන්නදැයි සියලුම පක්ෂ නායකයින්ගෙන් ආරක්ෂක අංශ ප්‍රධානින් ඉල්ලීමක් සිදුකර තිබුණි.ඒ සදහා අවසරදීමට නොහැකි බව පක්ෂ නායකයින් සදහන් කර ඇත. පක්ෂ නායක රැස්වීමට ආ ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ අගමැති රනිල් කළ යෝජනාවක් අනුව බවද දැනගන්නට ලැබේ.
පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට පෙර ත්‍රිවිධ හමුදාපතිවරු රනිල් වික්‍රමසිංහ හමුවූ බවට ආරංචි පැවතිණි.
රනිල්ගේ උවමනාව වී ඇත්තේ තමන් සාකච්ඡාවට නොපැමිණ ත්‍රිවිධ හමුදාව ලවා පක්ෂ නායකයින්ට පාර්ලිමේන්තුව සම්බන්ධ බියජනක කාරණාව මතුකර තීරණයක් ගැනීමට සැලසීමය.නමුත් ඔහු යෙදූ උපාය ඵල නොදැරූ බව පෙනෙන්නට තිබේ.
අද දහවල් වැඩබලන ජනපති රනිල් ජාතිය අමතමින් කියා සිටියේ මතුව ඇත්තේ පැසිස්ට් කුමන්ත්‍රණයක් බවත් එය හමුදා බලය යොදා මර්දනයට සූදානම් බවත්ය. අරගලකරුවන් ඇල්ලූ තැන් සියල්ලනැවත හමුදාව අල්ලන බවද ඔහු කීවේය.
නමුත් මෙතැන පවතින්නේ දේශපාලන තනතුරු සම්බන්ධ තීරණ කිහිපයක් බවත් එම දේශපාලන ප්රශ්නය විසඳන්නේ නම් ප්රචණ්ඩත්වය පහව යනු ඇති බව ත්‍රිවිධ හමුදාපතිවරුන් පක්ෂ නායකයන් හා කළ කතාබහ අවසානය වනවිට පෙන්වා දී ඇති බව දැනගන්නට ලැබේ.ඒ අනුව රනිල් සිදුකරන්නට යන ආකාරයේ මර්දනයකට හමුදා සහය නොලැබෙනු ඇති බවද පෙනෙන්නට තිබේ.
ත්‍රිවිධ හමුදාපතිවරු රනිල් වික්‍රමසිංහගෙන් ජනමතයට හිසනමා ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීමක් කර ඇති බවද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සාකච්ඡාවෙන් පසු හෙළිදරව්වක්ද කළේය.
අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීම සදහා සහභාගි වූවන් වන්නේ,
කථානායක – මහින්ද යාපා අබේවර්ධන, පූජ්‍ය අතුරලියේ රතන හිමි, එම්. ඒ. අතාවුල්ලා, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර,
වීරසුමන වීරසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානන්ද, රංජිත් මද්දුමබණ්ඩාර, ටිරාන් අලස්
මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක, පී. රාධාක්‍රිෂ්ණන්, අංගජන් රාමනාදන්, ගෙවිදු කුමාරතුංග, උදය ගම්මන්පිල, එම්.ඒ. සුමන්තිරන් යන අයයි.
වහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන්නැයි විපක්ෂයේ සියලු පක්ෂ නායකයෝ එක හඩින් කතානායක වරයාගෙන් ඉල්ලීමක් මෙහිදී කර ඇති අතර එසේ නොවුණහොත් ඉදිරියේදී අරගලකරුවන් පාර්ලිමේන්තුව වැටලීමට කටයුතු කරනු ඇති බවත් අනවශ්‍ය ලේ වැගිරීම් සිද්ධවන්නට මෙම ‘තනතුරු ලෝභය‘ හේතුවිය හැකි බවත් පෙන්වා දී ඇත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන ජනපති ලෙස පත්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ඉවත් වන ලෙසටත්
මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර වීමට අගමැතිවරයාගේ ක්‍රියාකලාපය හේතු වූ බවටත් පෙන්වා දී ඇත.
මේ අතර අද රාත්‍රී 8 න් පසුව ජනපතිවරයාගේ ඉල්ලා අස්වීම නිවේදනය කළ හැකි බවද කතානායකවරයා දැනුම්දී ඇති අතර පක්ෂ නායකයන් කියන්නේ රනිල්ගේ ඉල්ලා අස්වීම ඊට පෙර නිවේදනය කරන ලෙසයි.
0 Comments