samurdi-officers-protest

අත්‍යවශ්‍ය සේවාවන් ගොන්නට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළත් නොකර, නොසලකා හරිමින් කටයුතු කළ නායකයෙකු වන ජනාධිපතිවරයාට තවදුරටත් සහාය දැක්වීමට සුදානම් නොමැති බව සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුර බණ්ඩාර ආරත්න මහතා සඳහන් කරයි.කුරුණෑගල ප්‍රදේශයේදී ඊයේ (06)දා පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටි ආරියරත්න මහතා, 



වැඩිදුරටත් සිය අදහස් දක්වමින්, "ඉතා දිගු කාලයක් කැබිනට් අමාත්‍යාංශයත්ව තිබුණ සමෘද්ධිය මේ වනවිට ගෝඨාභය රනිල්  ආණ්ඩුව විසින් රාජ්‍ය අමාත්‍යාංශයකටවත් අයිති නැතිව වගකීමක් නැති ආයතනයක් බවට පත් කරලා තියෙනවා. විවිධ ගැටලු ප්‍රශ්න හමුවේ ලෝකයේ විවිධ රටවල් බොහෝ අවස්ථාවල අරාජික වෙලා තියෙනවා. හැබැයි මේ ආකාරයට හුළං බැස්ස. තත්වයට නම් කිසිම රටක් පත් වෙලා නැහැ. මාසයකට බිලියන 18ක ලෝක බැංකු ආධාර මත දුවන සමෘද්ධිය මේ වනවිට සහනාධාරලාභීන් ලක්‍ෂ 33කට ජීවත් වෙන්න බැරී තත්වයට ගෝඨාභය රනිල් ආණ්ඩුව පත් කරලා තියෙනවා.මේ වනවිට ග්‍රාමීය මට්ටමේ තියෙන සමෘද්ධි බැංකු විවෘත කරලා පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. නිලධාරීන් රාශියක් කළ යුතු වැඩ සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා බාර අරගෙන තියෙනවා. මේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පාලනය පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. ඔහු මේ ව්‍යාපාරය විනාශයට ගෙන ගියා. බැසිල් රාජපක්‍ෂ සමග එකතු වෙලා මේ ව්‍යාපාරය සතු මුදල් බිලියන 64කට අධික මුදලක් විනාශ කළා.

අපි තමයි රටේ ලොකු වෙනසක් කරන්න ගෝඨාභය ජනාධිපති බලයට ගෙනාවේ.

ඒ වෙනස නිසාම තමයි ඔහු ජනතාවට හාමතේ මැරෙන්න ඉඩ හැරලා තියෙන්නේ. බැසිල් රාජපක්‍ෂ සමෘද්ධි ව්‍යාපාරය විනාශයෙන් විනාශයට ගෙන යන්න හැරියා මිසක් ඉන් අනාථ වුණු පවුල් රැකගන්න කරපු දෙයක් නැහැ. කාංචන විජේසේකර අමාත්‍යවරයා අවස්ථා ගණනාවකදී සමෘද්ධිය අත්‍යවශ සේවා ගොන්නට අයත් බව කිව්වත් රටේ පවුල් ලක්‍ෂ 33ක් බලා ගන්න එකම ආයතනයට අවම වශයෙන් ඉන්ධන ටිකවත් දෙන්න වැඩපිළිවෙළක් හදලා නැහැ. මේ නිසා අපි ගෝඨාභය ජනාධිපතිවරයාට කියනවා අපි ඔබ ගැන දැඩි විශ්වාසයකින් හිටියත් දැන් ඒ විශ්වාසය කඩ කරපු නායකයා විදියට පවුල් ලක්‍ෂ 33ක් හාමතේ මියැදෙන්න ඔබ ඉඩ දෙනවා නම් අපි ගැන සුරක්ෂිතතාවක් නැති ඔබේ ආණ්ඩුවට තවදුරටත් කඩේ යන්න සුදානම් නැහැ. ඔබත් එක්ක ගනුදෙනු කරන සූදානම් නැහැ කියන පණිවිඩයත් අපි ඔබට දෙනවා කියලා බය නැතිව කියනවා” යැයි පවසා සිටියේය. එම සංගමයේ ලේකම් ලලිත් ඩී. ප්‍රියන්ත මහතාද එහිදී අදහස් දැක්වීය.

(ගීතාංජලී ප්‍රියදර්ශනී)