school-van-charges

පවතින අර්බුදය හේතුවෙන් සතියට දින තුනක් පමණක් පැවැත්වෙන පාසලට පැමිණෙන සිසුන්ගෙන් මාසයකට දින 12කට පමණක් ගාස්තු අයකර ගැනීමට ඊයේ (25දා) තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කරයි. එහෙත් සතියට දින 05ක් පාසල් පැවැත්වෙන ප්‍රදේශවල සිසුන්ගෙන් මාසයට අදාළ සම්පුර්ණ මුදලම අයකර ගැනීමටත් තීරණය කර තිබෙන බවත්,

මේ මාසය සඳහා මාස භාගයක මුදලක් අයකර ගැනීමටත් තීරණය කළ බවත් එම සංගමයේ සභාපති පත්මසිරි හරීන්ද්‍ර මහතා පැවසීය. සාමාන්‍යයෙන් මාසයකට දින 22 හෝ ඊට ආසන්න දින ගණනක් පාසල් පැවැත්වෙන බවත්, මේ අනුව පාසල් ප්‍රවාහන රථ භාවිත කර පාසල් පැමිණෙන සිසුන්ගෙන් මාසික මුදලක් අයකර ගත් බවත් හෙතෙම පවසා සිටියේය. එහෙත් පවතින අර්බුදකාරි තත්වය නිසා දකුණු පළාත හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් සතියකට දින 03ක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත්, මේ අනුව මාසයකට දින 12ක් පමණක් පාසල් පැවැත්වෙන නිසා තම සංගමයට අයත් ප්‍රවාහන රථ මාසයකට දින 12කට අදාළ මුදල පමණක් අය කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය. අදාළ මුදල ලබාගැනීම ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බවත්, මේ මාසය තුළදීත් නිසි ලෙස පාසල් නොපැවැත්වූ නිසා මේ මාසයට අදාළව මාස භාගයක මුදලක් පමණක් අය කර ගැනීමටත් තීරණය කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

පාසල් ප්‍රවාහන රථවලට ලංගම ඩිපෝ හරහා අඛණ්ඩව ඉන්ධන ලබාදෙන බවට ප්‍රවාහන බලධාරීන් පොරොන්දු වුවත්, එම කටයුතු නිසි ලෙස සිදුනොවන බවත්, මේ නිසා පාසල් ප්‍රවාහන රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් අසල දින ගණන් පෝලිම්වල සිටීමට සිදුව තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.


(එච්.අයි. තුෂාර)