tedros-who-covid19

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩිහොම්  ගෙබ්‍රියෙසිස් 'කොවිඩ් 19" වසංගතය සම්බන්ධයෙන් ඊයේ (13) නව අනතුරු ඇඟවීමක් කළේය. 'කොවිඩ් 19 වසංගතය දැන්ම අවසන්  වේවි යැයි සිතන්න එපා. වසංගතය තවම අවසන් නැහැ.  වසංගතයේ සැර බාල වීම අවතක්සේරු කිරීම අනුවණකමක් වෙන්න පුළුවන්. එසේ අවතක්සේරු කළ නිසාම, වයිරසය රිසි පරිදි සමාජයේ පැතිරෙනවා. තව  තවත් නව විකෘති ප්‍රභේද නිර්මාණය වීමට එය හේතුවක් වේවි' යැයි ජිනීවා නුවර මාධ්‍ය හමුවක් පවත්වමින් ගෙබ්‍රියෙසිස් මෙසේ අනතුරු ඇඟවීම කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ජිනීවා නුවරය.




"මා සිටින්නේ ඇත්තටම කනස්සල්ලෙන්. රටවල් බොහොමයක්  කොවිඩ් 19 වසංගතය මර්දනයට පැනැවූ සෞඛ්‍ය නීති ඉවත් කර තිබෙනවා. ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ නිසි ලෙස සිදු කරන්නේ නැහැ. තවත් කොවිඩ් 19 රැල්ලක්  පැතිරීම ආරම්භ වුවහොත් එය ලෝකයට දරුණු ඵල විපාක අත්පත් කර දෙන්න පුළුවන්' යැයි මාධ්‍ය හමුවේ දී ගෙබ්‍රියෙසිස් පැහැදිලි කළේය. මේ අතර, 'කොවිඩ් 19 ඔමික්‍රොන්" විකෘතියේ ‘බීඒ.5' උප ප්‍රභේදය රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති බවත්, ඒ ගැන ද ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බවත් ටෙඩ්‍රෝස් ඇඩිහොම්  ගෙබ්‍රියෙසිස් ප්‍රකාශ කළේය.

‘බී.ඒ.5' සහ 'බී.ඒ.4' යනු 'කොවිඩ් 19 ඔමික්‍රොන් විකාතියේ මෙතෙක් හඳුනාගෙන ඇති උප ප්‍රභේද දෙකය. මෙම උප ප්‍රභේද දෙක අතරින් වඩාත් වේගයෙන් ව්‍යාප්තිය සිදුවන්නේ ‘බී.ඒ.5" ප්‍රභේදය යැයි තහවුරු කරන්ගෙන තිබේ. “බී.ඒ.5ප්‍රභේදය මේ වනවිට රටවල් 70 කට වඩා ව්‍යාප්ත වී ඇතැයි ද පැවැසෙයි. යුරෝපා රටවලත් ඇමෙරිකාවෙත් 'කොවිඩ් 19'  ආසාදිතයන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන්නේ මෙම විකෘතිය නිසාය.