අද (9) පෙරවරු 8.00 ට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය. එසේම ලංගම බස් රියදුරන් විසින් ආරම්භකර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය ද පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවලින් පසු අත්හිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව අද සුපුරුදු පරිදි ලංගම බස් රථ ධාවනය වන බව සඳහන් කර තිබේ.



බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹට අද(9) දින දුම්රිය ධාවන නොකරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ඊයේ රාත්‍රී පවසා තිබුණි.
මේ අතර අද පෙරවරුවේ කොළඹ දක්වා ධාවනය වන දුම්රිය අවලංගු කිරීම ට විරෝධය දැක්වූ මහනුවර ජනතාව දුම්රිය ස්ථානාධිපතිවරයාට දැඩි විරෝධයක් එල්ල කිරීමේ සිදුවීමක්ද වාර්තා විය. අරගලයේ තරුණ තරුණියන්ගේ දැඩි ඉල්ලීම මත තීරණය වෙනස් කර දුම්රිය ධාවනය අරඹා තිබූ අතර දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සියලු දුම්රිය ධාවනය අරඹූ නිවේදනය නිකුත් කර තිබුනේ මීට පසු වේලාවකය.