train-delay-170-30

ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයන්ට සේවයට වාර්තා කිරීමේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය නිසා ඊයේ (06)දා උදෑසන ගමන් කළ යුතු දුම්රිය ගමන්වාර 170න් ධාවනය වූයේ ගමන්වාර 30ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සෙංගමය සඳහන් කරයි.

මේ ආකාරයට දුම්රිය ගමන්වාර අවලංගු වීම නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වූ අතර මේ හේතුවෙන් මගීන් රැසක් දුම්රිය එන්ජිමේ සහ පාපුවරුවල අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු දැකගත හැකි විය.මීට අමතරව පවතින ඉන්ධන හිඟය නිසා බස් රථ පවා ඊයේ දිනයේනිසි ලෙස ධාවනය නොවූ අතර මේ නිසා බස් මගීන්ද දැඩි දුෂ්කරතාවන්ට පත් විය.



දෛනිකව ආසන්න වශයෙන් බස්රථ 17,000ක් ධාවනය කළ යුතු වුත්, ඊයේ දිනයේදී ධාවනය වී තිබෙන්නේ, බස්රථ3,000කට ආ ප්‍රමාණයක් බවත්, අද (07) දිනයේදීත් මෙම බස් ප්‍රමාණයම ධාවනය වන බවත් එම සංගමය පෙන්වා දෙයි. පවතින බස්රථ හිඟය නිසා බස් මගීන්ද අනාරක්ෂිත ආකාරයට පාපුවරුවේ හා බස් රථයේ පිටපස කොටසේ පවතින උපාංගවල එල්ලී ගමන් කරන ආකාරය ද දැකගත හැකිය. ලංගම ඩිපෝ මගින් බස් රථවලට ඉන්ධන ලබාදෙන බවට බලධාරීන් සඳහන් කළත් අදාළ කටයුතු විධිමත් ලෙස සිදුනොවන බවත්, මේ නිසා දුරගමන් සේවා බස්රථවලින් 10%ක්වත් ධාවනය කරගැනීමට නොහැකි වී තිබෙන බවත් බස් හිමියෝ පෙන්වා දෙති. කෙටිගමන් සේවා බස්රථ වලින් සැලකියයුතු ප්‍රමාණයකට,

වරකට ලබාගන්නා ඉන්ධනවලින් දින 03ක් හෝ 04ක් ධාවනය කිරීමට හැකියාව තිබෙන බවත්,

මේ නිසා මේ ආකාරයට හෝ බස් රථ ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් බස් හිමියෝ සඳහන් කරති.පවතින ඉන්ධන හිඟය නිසා කාර්යාල සේවා ප්‍රවාහන රථ ධාවනය කිරීමත් සීමාසහිතව සිදුවන බව කාර්යාල ප්‍රවාහන රථ හිමියන් පවසති.මේ අනුව කාර්යාල ප්‍රවාහන සේවාවල ගමන් කළ බොහෝ පිරිසක් බස්රථවලින් හා දුම්රියෙන් රාජකාරී ස්ථානවලට යාමට කටයුතු කරන අතර,


පවතින බස් හිඟය හා දුම්රිය හිඟය නිසා මෙම පිරිස්ද දැඩි ලෙස අසරණ වී සිටිති. දුම්රිය ධාවනාගාර සේවකයන්ට රාජකාරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන හා ප්‍රවාහන පහසුකම්  නොලැබීම නිසා එම පිරිස් සේවයට වාර්තා කිරීම සීමාසහිත වීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙන බවද දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරයි. මේ නිසා ක්ෂණිකව දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව තිබෙන බවත්, මේ නිසා ජනතාව දුම්රිය ස්ථානාවලදී යම් යම් නොසන්සුන්තාවන් ඇති කර ගන්නා බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. දැනට පවතින තත්වය තුළ දිනකට ධාවනය විය යුතු දුම්රිය ගමන්වාර 360කට අධික ප්‍රමාණයෙන් 150කට අධික ප්‍රමාණයක් අවලංගු  වන බවද වෘත්තීය සමිති සඳහන් කරයි.


( ඉන්දික හේවාවිතාරණ)