train-tickets-sri-lanka

මුද්‍රණය කර තිබෙන දුම්රිය ප්‍රවේශපත්‍ර අවසන් වෙමින් තිබෙන බවත්, මෙම තත්වය මත ඉදිරියේදී දුම්රිය ස්ථාන රැසක සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්වයක් ඇතිවන බැවින් මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.



හලාවත, කොළඹ කොටුව, මරදාන, ගම්පහ, වේයන්ගොඩ සහ රාගම ආදී දුම්රිය ස්ථානවල මෙන්ම උපදුම්රිය ස්ථාන රැසකම් මේ වන විට මුද්‍රණය කළ සාමාන්‍ය ප්‍රවේශපත්‍ර අවසන් වෙමින් තිබෙන බවත්, මේ නිසා අදාළ දුම්රිය ස්ථානවලට පැමිණන මගීන්ට ඉදිරියේදී ටිකට්පත් නිකුත් කිරීමට නොහැකිවන බවත් එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේය. පසුගිය කාලය වනතෙක් රජයේ මුද්‍රණාලය හරහා ප්‍රවේශපත් මුද්‍රණය කළ බවත්, මේ අනුව රජයේ මුද්‍රණාලය මගින් අදාළ කටයුත්ත නිසි ලෙස සිදු කළ බවත් ඒ මහතා පවසා සිටියේය.

කෙසේ නමුත් පසුව එම කටයුත්ත නවතා එම මුද්‍රණ උපකරණ දුම්රිය මුලස්ථානයේ පිහිටි මුද්‍රණ කාර්යාලයට ගෙනවිත් ටිකටිපත් මුද්‍රණය කිරීම සඳහා කටයුතු කළ බවත්,එහෙත් ඒ සඳහා තවමත් නිසි ලෙස පුහුණු සේවකයන් හා කාර්යාලයීය කටයුතු සඳහා ප්‍රමාණවත් සේවකයන් අනුයුක්ත කිරීමට අසමත්වීම මත එහි කටයුතු මන්දගාමී වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. ටිකට්පතට අවශය වන කඩදාසි විදේශ රටවලින් ගෙන්විය යුතු බවත්, අදාළ කඩදාසි තොග පවා ඉදිරියේදී ගෙවීමට සිදුවන බවත්, දිනකට ටිකට්පත් ලක්ෂ 03ත්, 04ත් අතර ප්‍රමාණයක් දුම්රිය ස්ථාන මගින් දෛනිකව නිකුත් කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය.