A-businessman-officer-behind-deposition

වී අලෙවි මණ්ඩලයේ මුදල් රාජ්‍ය බැංකුවක් විසින් ණය මුදලකට හිලව් කර ගැනීමේ සිද්ධිය පිටුපස එම මණ්ඩලයේ ඉහළ තනතුරක් හොබවන නිලධාරියෙක් සහ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයකු සිටින බව අනාවරණය වේ.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් අදාළ රාජ්‍ය බැංකුවේ තැන්පත් කර තිබූ මුදල්වලින් මණ්ඩලයේ ණය වාරික කපා ගන්නා ලෙස අදාළ ඉහළ නිලධාරියා සහ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයා බැංකුවට බලපෑම් කර ඇතැයිද මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලය මේ දිනවල වැඩි මිලට සහල් මිලදී ගන්නා බැවින්,එම කටයුතු අඩාළ කර අදාළ මහා පරිමාණ සහල් මෝල් හිමියාට ගොවීන්ගෙන් අඩු මිලට වී මිලඳී ගැනීම සඳහා මෙම උපක්‍රමය සිදුකර ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.



වී අලෙවි මණ්ඩලය අදාළ රාජ්‍ය බැංකුවෙන් ලබාගත් ණය සඳහා වාරිකය සැප්තැම්බර් මස 09 වැනිදා ගෙවීමට තිබියදී මණ්ඩලයේ තැන්පතු මුදල් අදාළ ණය මුදලට හිලව් කර ගැනීමට අදාළ රාජ්‍ය බැංකුව කටයුතු කර තිබිණි.

මණ්ඩලයේ මුදල් ණය මුදලට හිලව් කර ගැනීමේ සිද්ධිය පිටුපස සිටින මහා පරිමාණ සහල් මෝල් හිමි කෝටිපති ව්‍යාපාරිකයා සිය ගිණුම් පවත්වාගෙන යනු ලබන්නේද මෙම රාජ්‍ය බැංකුවේ බව පැවසේ. මෙම ව්‍යාපාරිකයා සමග වී අලෙවි මණ්ඩලයේ ඉහළ තනතුරක් හොබවන නිලධාරියාද කාලයක් තිස්සේ කිට්ටු සබඳතාවක් පවත්වාගෙන යන බවද මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.

වී අලෙවි මණ්ඩලය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වී මිලදී ගැනීම සම්බන්ධව පවත්වන සියලු සාකච්ඡාවල තොරතුරු මෙම නිලධාරියා විසින් අදාළ මහා පරිමාණ සහල් මෝල් හිමියාට ලබාදෙන බවද පැවසේ.



වී අලෙවි මණ්ඩලය නාඩු වී කිලෝවක් රුපියල් 120 කටද, සම්බා වී කිලෝවක් රුපියල් 125 කටද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කටද මිලදී ගන්නා අතර, පුද්ගලික වෙළෙඳුන් විසින් ගොවීන්ගෙන් වී කිලෝවක් මිලදී ගනු ලබන්නේ රුපියල් 90 ත් 100 ත් අතර මිලකටය.

වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම ඇමැතිවරයා අතර විශේෂ හමුවක් ඉකුත් සතියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති අතර, එහිදී බහුතරයක් වී මෝල් හිමියන් කියා සිටියේ වී අලෙවි මණ්ඩලය වැඩි මිලට වී මිලදී ගැනීම නිසා ඉදිරියේදී සහල් මිල දෙගුණ වන බවය.