aluthgama-incident

අලුත්ගම දර්ගා නගරයේ මිනි සුපිරි වෙළඳසලකින්  රුපියල් පනස් දහසකට ආසන්න වටිනාකමින් යුත්  කිරිපිටි ටින් 18ක් යට ඇඳුම තුළ සඟවා සොරකම් කළ බව කියන කාන්තාවන් තිදෙනකුගේ කල්ලියේ එක් සැකකාර කාන්තාවක දෙවන වරටත් එම වෙළඳසලට ඉකුත් දින රාත්‍රියේ පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගත් 51 හැවිරිදි මෙම සැකකාර කාන්තාව පානදුර මහබෙල්ලන ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම කාන්තාව සම වයසේ  තවත් කාන්තාවන් දෙදෙනකු සමග ඉකුත් මාසයේ විසිදෙවන දින දර්ගා නගරයේ මෙම වෙළෙඳසලට පැමිණ භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් කිරිපිටි ටින් තොගය සම සමව සොරකම් කර ඔවුන් ඇඳ සිටි ඇඳුම්වලට යටින් රහසිගතව ඇඳ සිටි විශාල ප්‍රමාණයේ සාක්කු සහිත යට කලිසම්වල සගවා හොර රහසේ රැගෙන ගොස් ඇති බව එම වෙළෙඳසලේ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබෙන බව කළ විමර්ශනවලින් හඳුනා ගත් බව පොලීසිය කියයි.

සිදු කළ සොරකම සම්බන්ධයෙන් එම වෙළෙඳ ආයතනය අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල ඔන්සේ විමර්ශන ආරම්භ කර තිබියදී නැවතත් එම වෙළඳසලට පැමිණි සැකකාර කාන්තාව වෙළඳසල් සේවිකාවන් විසින් හඳුනාගෙන අලුත්ම පොලිසියට කළ දැනුම්දීමෙන් අනතුරුව පැමිණි නිලධාරීහු කණ්ඩායමක් එම සැකකාරිය එම වෙළඳසල තුළදී දී අත්අඩංගුවට ගනු ලැබූහ.

එම සැකකාරිය සම්බන්ධයෙන් පොලිස් කාන්තා නිලධාරිනියන් ලවා පරික්ෂා කිරීමේදී හොර සාක්කු සහිත යට ඇඳුමක් එදිනද ඇඳ පානදුර ප්‍රදේශයේ සිට ද නගරයේ මෙම වෙළෙඳසලට පැමිණ තිබෙන බව පොලිසිය කියයි. තවත් කාන්තාවන් දෙදෙනකු සමග ඉකුත් මස විසි දෙවන දින සිදුකළ කිරිපිටි ටින් සොරා ගැනීමේ ආරක්ෂක කැමරා දර්ශනවල සිටින්නේ මෙම කාන්තාව බවත් සෙසු දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් පොලීසිය කියයි. තවත් ප්‍රදේශවල මෙවැනි වෙළඳසල මෙම කාන්තාවන් තිදෙනා සොරකම් සිදුකර තිබේදැයි යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තුසිත කුමාර ද සිල්වා