ඉකුත් මැයි 09 වනදා ගෝඨා ගෝ ගමට හා මයිනා ගෝ ගමට මැර ප්‍රහාරයක් එල්ල වූ ද රට පුරා හට ගත් මහජන නොසන්සුන්තාවයන් අතරතුරදී නිට්ටඹුව නගරයේදී පොලොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමර කීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතන සිද්ධියේ නඩු විභාගය පසුගියදා පැවැත්විණි.
නිට්ටඹුව නගරයේ හටගත් මහජන නොසන්සුන්තාවන් අතරතුරදී පළමුව කළිය, හාපිටිගම පදිංචිව සිටි ඉහළ ගමගේ හරි නදීෂාන් ජයවීර 27 නමැති තරුණ ව්‍යාපාරිකයකු වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබිණ. එම සිද්ධියෙන් පසුව නිට්ටඹුව සුපිරි වෙළදහලක් තුළදී මන්ත්‍රීවරයා හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කොට තිබිණ.
මේ පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වා වරින් වර සැකකරුවන් තිස් හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණ.ඉන් එක් සැකකරුවෙකු ඇප මත මුදා හැර සිටින අතර අනෙක් සැකකරුවෝ තිස් පස් දෙනා රිමාන්ඩ් භාරයේ රඳවා සිටිති. මෙය පෙරේදා 01 පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන් තිස් පස් දෙනා අතරින් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිත තිස් හය වන සැකකරු ආවරණය කොට රැගෙන විත් තිබෙන නමුත් සාක්කිකරුවන් පැමිණ නැති හෙයින් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් වරුන් වන ජයසූරිය 66229 හා රංජිත් 55420 යන දෙදෙනාට මහර බන්ධනාගාරයට ගොස් කේ. ගයත්‍ර නමැති සැකකරුගෙන් වැඩිදුර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවසර ලබා දෙන මෙන්ද රජයේ අධිනීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. මෙහිදී නීතිඥ සමිත ලාල් කොඩිසිංහ මහතා කරුණු දක්වමින් හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ගෙනැවිත් සිටින සැකකරු පිළිබඳව හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පවත්වන්නේ නැතිනම් පෙරෙට්ටුව අවලංගු කරන ලෙසත් එසේ නොමැති නම් ඒ සඳහා කෙටිම දිනයක් ලබා දෙන මෙන්ද ඉල්ලා සිටියේය.
මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් වලින් අනතුරුව රහස් පොලිස් සැරයන් වරුන් දෙදෙනාට මහර බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ කේ. ගයත්‍ර නමැති සැකකරු ගෙන් වැඩිදුර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා කෙටිම දිනයක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම ද සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එය මෙම 08 වැනිදා පැවැත්වීමට නියෝග කර එදින දක්වා සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ද නියෝග කළාය. නැවත කැඳවීම මේ මෙම 08වැනිදාට කල් තැබිණ. සැකකරුවන් වෙනුවෙන් සමිත ලාල් කොඩිසිංහ, ඇම්.කේ. ගුණසිංහ හා රුක්මන් සිල්වා යන නීතිඥ මහත්වරුන් ප්රමුඛ නීතිඥ මහත්ම මහත්මීහු පිරිසක් පෙනී සිටියහ.
සැකකරුවන් තිස් පස් දෙනකු කැදවූ නඩුව තවදුරටත් සැකකරුවන් මෙම 08 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය පෙරේදා 01 පස්වරුවේ නියෝග කළාය.
-වාරණ ආනන්ද ඉ. ජයකොඩි-
0 Comments