ambalangoda-incident

අම්බලන්ගොඩ කහව වෙරළ තීරයට ගොඩ ගසා තිබූ 13 හැවිරිදි පාසල් සිසුවියකගේ මළසිරුරක් ඊයේ (31)දා උදෑසන සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ අම්බලන්ගොඩ, කහව, ගල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි කහව ප්‍රදේශයේ විදුහලක 09 ශ්‍රේණියේ ඉගෙනුම පාසල් සිසුවියකි.පියා විසින් සිදුකළ අවවාදයක් හා තරවටු කිරීමක් හේතුවෙන් සිත්තැවුල පත්ව නිවසින් රාත්‍රියේ පිටවගොස් කිලෝමීටර් 02ක් පමණ පා ගමනින් ගොස් මුහුදට පැන සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළකරයි.



නිවසේ භාවිත කරන ජංගම දුරකථනයට  පිරිමි ළමයෙකු විසින් එවන ලද පණිවුඩයක් සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් දැරියට අවවාද හා තරවටු කර තිබෙන බවත්, සිත්තැවුල පත් මරණයට පත් සිසුවිය නිවසින් පිටව ගොස් ඇති අතර, දෙමාපියන් සොයා බැලීමේදී නිවසේ නොසිටි බවට දැන එදින රාත්‍රියේම මීටියාගොඩ පොලීසිය පැමිණිලිකර ඇති බවත් පරික්ෂාවේදී අනාවරණය විය.

මෘතදේහය සම්බන්ධයෙන් මරණ පරික්ෂණය ඊයේ (31) මාදම්පාගම හදිසි මරණ පරික්ෂිකා කේ. වගාආරච්චි මහත්මිය විසින් බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස්පරික්ෂක හේමන්ත ජයසූරිය මහතාගේ මෙහෙයවීම මත නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.