biden-decition

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩර්ගේ පරිපාලනය විසින් එරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් ලබාගෙන ඇති රාජ්‍ය ණය අතරින් ඩොලර් 10,000ක මුදලක් කපා හැරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. පෙරේදා (24දා) ජනපතිවරයා මේ පිළිබදව සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබා තිබේ. "මම මගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින්, මගේ පරිපාලනය ලබන 2023 වසරේ ජනවාරි මාසයේදී සිය ශිෂ්‍ය ණය ගෙවීමට සිටින වැඩකරන සහ මැද පන්තියේ පවුල් වෙත යම් සහනයක් ලබාදෙන්න කල්පනා කළා." යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ. ඒ අනුව දැනටමත් රජයේ ප්‍රදානයක් යටතේ අධ්‍යාපනය ලබන  අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට මෙහිදී ඩොලර් 20,000ක ණය කපාහැරීම,

එසේ නොමැති පවුල්වල දරුවන්ට ඩොලර් 10,000ක ණය කපා හැරීමක්ද සිදු කරන බව ජනපතිවරයා පවසා තිබේ. කෙසේ වෙතත් මෙම අවස්ථාව හිමි වන්නේ වාර්ෂිකව ඩොලර් 125,000ක ආදායමක් ලබන පවුල් වෙත පමණකි. "මේ හරහා ජනතාවට හුස්ම ගන්නට අවස්ථාවක් ලබාදේ. ඔවුන්ගේ ණය සම්බන්ධයෙන් පවතින බැදීම ඉවත් වුණාම එය ආර්ථිකයට වඩාත් හොද දෙයක් වේවි” යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බයිඩන් මාධ්‍ය වෙත පවසා තිබේ.

ජනපතිවරයාගේ මෙම තීරණය වර්තමානයේදී දරුණු  උද්ධමනයකට සහ ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින සියලුම ඇමෙරිකානුවට මහත් වූ සහනයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව පාර්ශ්ව රැසක්ම ජනපතිවරයාගේ මෙම තීරණය අගය කරමින් අදහස් දක්වා තිබේ.එක්සත් ජනපදයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුව මෙම සහනය සෘජුවම එරට ණයහිමියන් මිලියන 8කට සහනයක් ගෙන දෙනු ඇතැයි සඳහන් වෙයි. කෙසේ වෙතත් බයිඩන් විසින් කපාහරින ලද මෙම ඩොලර් 10,000ක ණය ප්‍රමාණවත් නොවන බවටත් ඇතැම් දෙනා අදහස් පළ කර සිටියි.

ඒ අතරින් ඔහුගෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන් මෙම ණය ප්‍රමාණය ඩොලර් 50,000ක් දක්වා ඉහළ දැමිය යුතු බවටත් පවසා සිටියි. එහිදී ඔවුන්ගේ අදහස වන්නේ දැනට සිය අධ්‍යාපනය සදහා ණය ලබාගෙන ඇති සිසුන්ට, සිය ණය ගෙවීමෙන් අනතුරුව තමන්ගේම නිවෙසක් හෝ වෙනත් ගෘහභාණ්ඩයක් මිලදී ගැනීමේදී ඊට අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට ප්‍රමාණවත් මුදලක් ඉතිරි නොවන බවකි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිර්වේදනයක් නිකුත් කර ඇති ධවල මන්දිරය අද වනවිට මෙම විශ්වවිද්‍යාල සිසුන් විසින් ලබාගෙන ඇති රාජ්‍ය ණයෙහි වටිනාකම ඇ.ඩො.ට්‍රිලියන 1.6ක් දක්වා ඉහළ නැග තිබෙන බවත්, එහිදී සිසුන් මිලියන 45ක් මෙම ණය ලබාගෙන ඇති බවත් පවසා තිබේ. ඒ අනුව මෙය ඇමෙරිකානු මද පත්තිය වෙත දරුණු බැදීමක් බවත්, අවදානම් තත්වයේ පසුවන ඇමෙරිකානුවන්ට මෙය තවත් දරුණු හානියක් බවත් ධවල මන්දිරය වැඩිදුරටත් පවසයි.