බිත්තර මිල ඉහළ යාමේ ගැටලුවට බලපා තිබෙන ආහාර හා ඖෂධ මිල පාලනය නොකර රටින් බිත්තර ගෙවීමට කටයුතු කළොත් ලක්ෂ දහයකට (10) ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වන බව ජාතික සත්ත්ව නිෂ්පාදකයන්ගේ එකමුතුව සඳහන් කරයි. බිත්තර කර්මාන්තයේදී සේම කුකුළු මස්

කර්මාන්තයේදී භාවිත කරන ආහාර හා ඖෂධ මිල300%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත්, අදාළ ද්‍රව්‍යවල මිල පාලනය කිරීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේය.

එසේ තිබියදී බිත්තර සඳහා පාලන මිලක් නියමකර තිබෙන බවත්, මුලින්ම සිදුකළ යුතු වන්නේ බිත්තර නිෂ්පාදනයේදී හා මස් නිෂ්පාදනයේදී සතුන්ට ලබාදෙන ආහාර හා ඖෂධ මිල පාලනය කිරීම බවත් ඔහු පවසා සිටියේය. සත්ව ගොවිපොළවල් සඳහා වාර්ෂිකව බඩඉරිගු මෙට්‍රික් ටොන් ලක්ෂ 04කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වන බවත්, එම අවශතාවෙන් රට තුළ මේ වනවිට නිෂ්පාදනය වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂයක පමණ ප්‍රමාණයක් බවත් කී ඒ මහතා, මේ නිසා රුපියල් 110කට අලෙවි වූ බඩඉරිඟු කිලෝවක මිල මේ වනවිට රුපියල් 300 දක්වා ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය. බිත්තර මිල, කුකුළු මස් මිල ඉහළ යෑමට මෙම සාධක බලපා තිබෙන බවත්,

මේ සඳහා කිසිදු විසඳුමක් ලබා නොදී රටින් බිත්තර ගෙවීමට කටයුතු කළහොත් මෙරට බිත්තර නිෂ්පාදනය නවතා දැමීමට සිදුවන බවත් හෙතෙම කියා සිටියේය. එසේ වුවහොත් බිත්තර ගොවිපොළවල්  පවත්වාගෙන යන පිරිස්, වියේ සේවකයන්, තොග රැස් කරන්නන්, බෙදාහරින්නන් හා වක්‍ර ලෙස මෙම කර්මාන්තය සමග සම්බන්ධ වී සිටින ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වන බවත් සුජීව ධම්මික මහතා පවසා සිටියේය. සාමාන්‍යයෙන් දිනකට බිත්තර ලක්ෂ 80ක් පමණ රටට අවශ්‍ය බවත් මේ වනවිට බිත්තර ඉල්ලුම 20%. - 30% අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවත්, කෙසේ වුවද රටට අවශ්‍ය බිත්තර ප්‍රමාණයම මෙරට තුළ නිෂ්පාදනය වන බවත් ඔහු සඳහන් කළේය. බිත්තර පාලන මිලට ලබාදීමට නම් අමුද්‍රව්‍ය හා ඖෂධ මිල අඩු කර ඒ සඳහා පාලන මිලක් යෙදිය යුතු බවත්, මෙම ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා කුකුළු මස් මිලද දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.



(එච්.අයි. තුෂාර)