පන්නිපිටිය විද්‍යාල හන්දියේදී තරුණයකුගේ ගෙල බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියකට මාලබේ, පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරුන්, තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.

කොස්තාපවරුන් තිදෙනාගෙන් අයකු පොලිස් විශේෂ කාර්යාංශයෙන් මාලබේ පොලිසියට අනුයුක්ත අයකු බවද පොලිසියේ ඉහළ නිලධාරියෙක් කීවේය. කොල්ලකෑමට යොදාගත් ත්‍රිරෝද රථයක් කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනය ද පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.

වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු පන්නිපිටිය විද්‍යාල හන්දියේ පිහිටි සිය සහෝදරියන්ගේ නිවෙසට ඉකුත් 20 වැනිදා  පැමිණ එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිය දී ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම සැකකරුවන් සිව්දෙනා තරුණයාගේ ගෙල බැඳි රන්මාලය සහ ඔහු සතු ජංගම දුරකථනය කොල්ලකා පලාගොස් ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.  

එම තරුණයා මේ පිළිබඳ ඉකුත් විසි එක් වැනිදා කළ පැමිණිල්ලකට අනුව කොට්ටාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර කොල්ලකෑමට පැමිණි ත්‍රිරෝද රථය මාලබේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොස්තපල්වරයකු ට අයත් ත්‍රිරෝද රථයක් බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට සැකකරුවෝ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ජී.එස්. ජයමහ මහතාගේ උපදෙස් මත කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඒ.කේ. සුභාෂණ  මහතාගේ මෙහෙයැවීමෙන් පරික්ෂණ පැවැත්වේ. අත්අඩංගුවට ගනු ලැබූ පොලිසියේ සිවුදෙනාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.