coconut-scandal

පොල් වගා කිරිමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ එහි ගිණුම් ලිපිකාරිනියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය ඊයේ (25) නියෝග කළාය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, පොල් වගාකිරීමේ මණ්ඩලයේ ගිණුම් ලිපිකාරිනියක වන මොනරාගල ඔක්කම්පිටිය පදිංචි ආර්.එම්. තමරා දිල්හානි සහ ආර්.ඩී. උපුල් රත්නායක නමැති අඹුසැමි යුවළකි.



1921 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ පිහිටුවා ඇති පොල් වගා කිරීමේ මණ්ඩලයේ අර්ථසාධක අරමුදලේ 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වසර හයකට ආසන්න කාලයක මුදල් වන රුපියල් හත් කෝටි තිස් අට ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැටනවයයි සත තිස් හතක මුදලක් (රු.7,383,936,9,37) වංචා කළැයි පොල් සංවර්ධන මණ්ඩලය කළ පැමිණිල්ලකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි. මෙම සිද්ධිය සම්බන්ධයෙන්, පොල් සංවර්ධන මණ්ඩලයේ සේවය නියුතුව සිටින සේවක සේවිකාවන් 10 දෙනකු පමණ සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. ‍



ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 403 සහ පොදු දේපළ පනත ප්‍රකාරව සැකකරුවන් වැරදි සිදුකර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය. පොල් සංවර්ධන මණ්ඩලයේ සේවකයන් 08 දෙනකුගේ නමින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ නමින් චත්පත් 51ක් මගින් මෙම මුදල් වංචා කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. සැකකරුවන් වෙනුවෙන් අධිරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අසකුලරත්න මහතා සදහන් කර සිටියේ තම සේවාදායිකාව දරුවන් තිදෙනකුගේ මවක වන අතර බාල දරුවාගේ වයස මාස තුනක් වන බවය. ඒ හේතුවෙන් සානුකම්පික හේතූන් මත ඇයට ඇප ලබා දෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කළේය. පොල් වගාකිරීමේ මණ්ඩලය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ කමල් විජේසිරි මහතා සඳහන් කර සිටියේ මෙම වරද රුපියල් කෝටි අටකට ආසන්න වටිනාකමකින් යුත් වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ එකක් බවත්,

සේවකයන් 641 දෙනකුගෙන් සමන්විත එම මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ විශාල මුදලක් මෙම සැකකරුවන් වංචා කර ඇති බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ සේවය කරන සේවක සේවිකාවන් දස දෙනකු පමණ අල්ලංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින අවස්ථාවක සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරුවන්ගේ ඇප සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද නීතිඥවරයා සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අසකුලරත්න, නීතිඥ චාමින්ද්‍රි අසකුලරත්න, නීතිඥ තේජිත කෝරලගේ සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්ම මහත්මීහු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.



නිමන්ති රණසිංහ