පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලයේ හිටපු උප සභාපතිවරියක විවාහ රෙජිස්ට්රාර්වරයකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා තුනකට වරදකරු බවට තීන්දු කළ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් කේ. වී. ඒ. ජී. ගුණරත්න ඇයට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ නියම කළේය.
ඒ අනුව විත්තිකාරියට චෝදනා තුනට වෙන් වෙන්ව මාස හය බැගින් මාස 18ක සිර දඬුවම් නියම කළ මහේස්ත්‍රාත්වරයා එම සිර දඬුවම් වසර පහකට අත්හිටුවීය.
ඊට අමතරව චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් 1500 බැගින් රුපියල් 4500ක දඩ මුදලක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, පැමිණිලිකාර පාර්ශ්වයට රුපියල් විසිපන්දහසක (25000)ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළේය.
විත්තිකාරියට මෙම දඬුවම් නියම කළේ මෙම නඩුවට අදාළව පැවැති පූර්ණ නඩු විභාගයකින් අනතුරුවය.
මෙසේ දඬුවම් නියම වූයේ මින්නේරිය, පටපිලිකන්ද, පුස්තකාල මාවත ලිපිනයේ පදිංචි ජී. නිරෝෂා ශාමලී උදයංගනී නැමති අයටයි.
2017 වසරේ පෙබරවාරි 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මින්නේරිය, හබරන පාර, ලිපිනයේ පදිංචිකරුවකු වන ගනේගොඩගේ ජිනදාස නැමැති විවාහ රෙජිස්ට්රාර්වරයකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගෙන මූල්‍ය විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම සහ සාපරාධි විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් විත්තිකාරියට එරෙහිව මෙම නඩු පවරා තිබිණි.
0 Comments