daispora-sri-lanka-tamil

දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ විසින් පත් කර තිබේ. මෙම කමිටුව පත්කිරීමට ප්‍රථම අධිකරණ ඇමැතිවරයා දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග විශේෂ දුරකථන සාකච්ඡාවක්ද පවත්වා ඇත.
කැනඩාව පදනම් කරගත් ඩයස්පෝරා සංවිධානයක් වන යුක්තිය සහ සමානාත්මතාවය සඳහා කැනේඩියානුවන් (Canadians for Justice and Equality) සහ ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය ඇතුළු තවත් රටවල් හතරක ඩයස්පෝරා නියෝජිතයන් සමග ඇමැතිවරයා පසුගිය ඉරිදා මෙම දුරකථන සාකච්ඡාව පවත්වා තිබේ.



මෙම සාකච්ඡාවේදී කැනේඩියානු සංවිධානය මෙහෙයවා ඇත්තේ රෝයි සමතානම් විසින් වන අතර, ඔහු ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිට මෑතකදී ඉන් නිදහස් කළ පුද්ගලයෙකි. මෙහිදී දෙමළ ඩයස්පෝරා ප්‍රජාව සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට ප්‍රධාන කොන්දේසි දෙකක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කිරීම සහ උතුරු නැගෙනහිර සිවිල් ජනතාවට සිදුවන හිරිහැර නතර කිරීම එම කොන්දේසි වේ. ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බව ද ඔවුන් ඇමැතිවරයාට පෙන්වාදී ඇත.

ආරක්ෂක අංශ විසින් උතුර නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් පරිහරණය කිරීම සම්බන්ධයෙන් ද ඩයස්පෝරා නියෝජිතයන් මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත. මෙහිදී ඇමැතිවරයා පෙන්වාදී ඇත්තේ බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය සූදානම් බවයි.

(නයන තරංග ගමගේ)