dasun-shanaka-speaks

ඕවර 2 ක් තුළ මුල් පිතිකරුවන් තිදෙනාම දැවී යෑමෙන් ඇති වූ අවාසි දායක තත්වය මග හරවා ගැනීමට නොහැකි වීම ඇෆ්ඝනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ දැවැන්ත පරාජයට බෙහෙවින්ම බලපෑ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය. “පළමු ඕවෛර දෙක තුළ කඩුලු 3 ක් බිඳ වැටුණාම නැවතත් තරගයට අවතීර්ණ වෙන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම විස්සයි-20 තරගයක. ඒක පසුගිය කාලෙ අපිට දිගින් දිගටම වුණ දෙයක්. තරග පරාජය වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපේ කණ්ඩායම මේ වගේ පරාජයක් ලබන්න තරම් සුදුසු කණ්ඩායමක් නෙමේ කියලා මම හිතනවා.” යැයි එහිදී දසුන් පැවසීය.

නිලකුණු ඕවරයක්ද යවමින් ශ්‍රී ලංකා ඉනිමේ මුල් ඕවර 4 ලකුණු 13 කට සීමා කළ ඇෆ්ඝනිස්ථාන ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා එහිදී කුසල් මෙන්ඩිස් (2), චරිත් අසලංක (0) සහ පැතුම් නිස්සංක (3) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කළහ. එම ම්වර 4 පුරා ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දු හතරේ සීමාවෙන් ඔබට යැවිය හැකි වූයේද අවස්ථා 2 කදී පමණකි. “ඒගොල්ලො අලුත් බෝලෙන් හුගක් හොඳට පන්දු යැව්වා. එහෙමයි කියලා අපිට කිසිම සමාවක් නෑ. මොකද පිතිකරුවා විධියට අපි ඕනෑම තත්වයකදී පන්දුවට පහර දෙන්න සූදානම් වෙලා ඉන්න ඕන. අපි දැක්ක ෆරූකි ඇවිල්ලා අලුත් පන්දුවෙන් දෙපැත්තටම දෝලනය කළා. නවීනුත් හොඳින් පන්දුව දෝලනය  කළා.

ඉතින් ඔවුන්ට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා හිටියද කියන එක අපේ පිතිකරුවන්ගෙන් අහන්න  ඕන.” යැයිද දසුන් සඳහන් කළේය. පැතුම් නිස්සංක නොදැවුණ ක්‍රීඩකයකු බවට සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබියදීත් ඔහු දැවී ගිය බවට සංඥා කිරීමට තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජයරාමන් මදනගෝපාල් මහතා පියවර ගැනීම දැඩි මතභේදයට තුඩුදුන් සිදුවීමක් බවට පත් විය. විඩියෝ දර්ශන නැරඹීමේදී කඩුලු රකින්නා අතට පත්වීමට පෙර පන්දුව පිතේ නොවදින බව නිරීක්ෂණය වීමත් සමග පිටියේ සිටි ක්‍රීඩකයෝ සියලු දෙනා යළිත් තරගය ආරම්භ කිරීමට සූදානම් වූහ. එහිදී ඊළග ඕවරය යැවීම සඳහා ෆකූරි පන්දුවට අතට ගැනීමට සූදානම් වූ අතර ධනුක සහ පැතුම් එම ඕවරයට මුහුණදීම සඳහා සිය සීමා ඉරිවෙත ගොස් සිටියහ. එහෙත් එම අවස්ථාවේදී කිසිවකු බලාපොරොත්තු නොවූ අයුරින් පැතුම් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට තෙවැනි විනිසුරු පියවර ගැනීමත් සමග ඔහුට අපේක්ෂක්ෂා භංගත්වයට පත්වෙමින් පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. එහිදී ශ්‍රී ලංකාවට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවද අහිමි විය.

( ශානුක අරවින්ද ඩුබායි සිට... )