14 හැවිරිදි පිරිමි ළමයෙකු 2021 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට සාර්ථකව B තුනක් ලබාගත් පුවතක් වාර්තාවේ. දෙව්ම් සනහස් රණසිංහ නමැති කඩවත ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු මෙම දස්කම දක්වා ඇත.
දෙව්ම් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගයෙන් ‘බී’ සාමාර්ථ තුනක් ලබාගෙන ඇත.
මාස 05ක් වැනි කෙටි කාලයක් විභාගයට සූදානම් වීමෙන් පසුව මෙම සුවිශේෂී ජයග්‍රහණයට ළඟා වීමට හැකි වූ බව ඔහු පවසයි.
මීට පෙර දෙව්ම් සනහස් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී පෙනී සිට ‘ඒ’ සාමාර්ථ පහක්, ‘බී’ සාමාර්ථ දෙකක් සහ ‘සී’ සාමාර්ථයක් ලබාගෙන තිබුණි.
මාස 07ක කාලයක් තුළ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්වූ බවද ඔහු කියයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහුගේ අනාගත බලාපොරොත්තු පැහැදිලි කළේ වෙනස් ලෙසකිනි. ඔහුට නීතීඥයෙකු වීමේ අරමුණක් මෙන්ම ක්‍රිකට් ක්රීඩකයෙකුවීමේ ආසාවක් ඇතැයි පවසා තිබේ.
මොහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ තමා කුමාර් සංගක්කාර අනුගමනය කිරීමට ආසාවකින් පසුවන බවත් ඉදිරියේදී නීතීඥයෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන්නට යන්නේ ඒ නිසා බවත්ය.
තමාට රජයේ හැඳුනුම්පතක් ලබාගැනීමට වයස නැති නිසා විදෙස් ගමන් බලපත් අංකය අනුව සාමාන්‍ය පෙළට පෙනී සිටි බව ඔහු කීය.
දැනට පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරන දෙව්ම් ඉදිරියේදී නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ නැති බවත් එසේම රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට අදහස් නොකරන බවත් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් නීති උපාධියක් හදාරන්නට උත්සාහ කරන බවත් පැවසුවේය.
දෙව්ම්ගේ පියා වෘත්තියෙන් ගුරුවරයෙකු වන අතර ඔහු පවසන්නේ තම පුත්‍රයා ක්‍රීඩාවට දැඩි ලෙස කැමති නිසා අඩු වයසින් විභාග කර විභාග පීඩනය නැතිව ක්‍රීඩාවට යොමු කිරීමට මෙලෙස උසස් පෙළට පෙනී සිට මෙම ප්‍රතිඵල ලබාගැනීමට යොමු කළ බවයි. ඉදිරියේදී ඔහුට වයස 18 සම්පූර්ණවූ පසු නීති උපාධියකට යොමු කරන බවද ඔහු කීය.
දෙව්ම්ගේ පවුලේ 8 වසරේ තවත් පුතෙකු හා 6 වසරේ දියණියක සිටින බව ඔහුගේ මව පැවසූ අතර 8 වසරේ පුතුද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට යොමු කර ඇතැයි දෙව්ම්ගේ මව පැවසුවාය.
0 Comments