ඩීසල් ලීටරයක් රුපියල් නවසීයයක් දක්වා වැඩි කර අලවි කිරීම සදහා ඩිසල් ලීටර් 6,600ක් සහිත බවුසරයක් රැගෙන ආ එම රථයේ රියැදුරු සහායකයා සහ ඔත්තු බැලීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (2) රාත්රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසයි. වැඩි මිලට ඉන්ධන සැපැයීමේ මහා පරිමාණ ජාවාරමක් සිදුවන බවට මීගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක නෙවිල් ප්රියන්ත මහතාට ලැබුණ තොරතුරක් මත, පොලිස් උපාය දුතයකු මාර්ගයෙන් ඉන්ධන ඇණවුම ලබා දී ඉන්ධන තොගය සහිත බවුසරය පාදුක්ක වටරැක ප්රදේශයේ කර්මාන්තශාලාවකට රැගෙන ආ අවස්ථාවේ සැකකරුවන් හා ඩීසල් තොගය සහිත බවුසර් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. එම කර්මාන්තශාලාව සමග ඇති කරගත් සම්මුතියකින් පසුව, මෙම වැටලීම සිදු කළ බව ද පොලීසිය කියයි.
කටුනායක ප්රදේශයේ ආයතනයක් වෙන නිකුත් කරන ලද ඉන්ධන තොගයක් මෙලෙස වැඩි මිලට විකිණීම සඳහා මීගොඩ ප්රදේශයට සූක්ෂම ලෙස එවා ඇති බවත්, එම කටයුතු නිවැරැදිව සිදුවන්නේ ද බැලීමට ඔත්තුකරුවන් දෙදෙනකු ද අදාළ ඉන්ධන තොගය ලබා ගන්නා බවට පොලිස් උපායදූතයා පවසා තිබූ කර්මාන්තශාලාව ඉදිරිපිටට එවා ඇති බවත් පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් ඩීසල් තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ විසි අටක් පමණ වන අතර, විකිණීමට කටයුතු කර ඇත්තේ ලක්ෂ හැටකට බව ද පොලීසිය සඳහන් කරයි.
තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරියකුගේ උපදෙස් මත මෙම ඉන්ධන තොගය අදාළ ස්ථානය වෙත ගොඩබෑමෙන් පසුව, ඔත්තුකරුවන් දෙදෙනාට, බවුසර් රථයේ රියැදුරාට හා සහායකට විශාල මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බව සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනා හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මීගොඩ පොලීසිය සහ ඛනිජ තෙල් සංස්ථාවේ විශේෂ විමර්ශන ඒකකය එක්ව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
- කේ. බුද්ධික කුමාරසිරි-
0 Comments