dog-bite-no-drug

මේ වසරේ ගතවූ කාලසීමාවේදී සුනඛ සපාකෑම්වලට ලක්වූ පුද්ගලයන් 4000ක් බදුල්ල මහ රෝහලට පැමිණ ප්‍රතිකාර ලබාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් හා ඌව පළාත් සම්බන්ධීකාරක පාලිතරාක්ෂ මහතා පැවසීය.බදුල්ල මහරෝහලේදී ඊයේ (16දා) පැවැති මාධ්‍ය සාකචිඡාවකදී හෙතෙම මේ බව අනාවරණය කළේය. ඌව පළාතේ රජය රෝහල්වල පවතින උග්‍ර ඖෂධ හිගය පිළිබද දැනුවත් කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"සුනඛයන් සපාකෑවිට ජල භීතිකා රෝගයේ  වළක්වා ගැනීමට දෙනු ලබන එන්නත මෙන්ම අසාත්මිකතා වළක්වා ගැනීමට දෙනු ලබන එක්කවල බරපතළ හිගයක් පවතිනවා.

මේ නිසා හපාකෑම සිදුකළ සුනඛයා බැඳ දමා දින 14ක් සුපරීක්ෂාකාරිව සිටින ලෙසට දෙන උපදෙස්වලට ප්‍රතිකාර පමණක් සීමාවී ඇති නිසා යම් හේතුන්වෙන් බරපතළ ප්‍රතිවිපාක අත්විය හැකියි. ඒවගේම ඌව පළාත් බදුල්ල මහ රෝහල ප්‍රමුඛ රෝහල් සියල්ලේම බරපතළ ලෙස ඖෂධ හිගයක් හා වෛද්‍ය උපකරණ හිගයක් පවතිනවා. සායනික රෝගී අංශයට ඖෂධ 10ක් අවශ්‍ය නම් ඇත්තේ 6ක් පමණයි. දැඩි සත්කාර ඒකක සදහා අවශ්‍ය ඖෂධ නැහැ. හෘද රෝගී බේත් හිගයි. නිධන්ගත රෝගීන්ට අවශ්‍ය බෙහෙත්වල බරපතළ හිගයක් පතිනවා.

දියවැඩියාව වැනි රෝගවලදී නිසි කලට ඖෂධ නොලැබුණහොත් රෝගය පාලනය වන්නේ නැහැ. වකුගඩු රෝගීන්ගේ තත්වය වඩාත් බරපතළයි. රජයේ රෝහල්වල පමණක් නොව ඇතැම් ඖෂධපුද්ගලික ඖෂධ අලෙවී සැල්වලත් ඖෂධ ඇත්තේ නැහැ. තිබුණත් මිල දරත්ත බැරි තරම් වැඩියි. මේ නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා. බදුල්ල මහ රෝහලට මේ දිනවල පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.

වාට්ටුවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා රෝගීන්ඩි පීඩාවට පත්ව තිබෙනවා. එසේම දැනට කෝවිඩි පිළිබද නිසි නියාමනයක් නැහැ.

කෝවිඩි සමාජගත වී ඇති නමුත් ඒ පිළිබද නියැදි පරික්ෂාවක්  සිදුවෙන්නේ නැහැ. පී.සී.ආර් සහ ඇටෝන් පරික්ෂා සිදුවන්නේ සැකයක් ඇති වූ රෝගියෙක් රෝහල්ගත වුවහොත්පමණයි. මේ දිනවල කෝවිඩි 19 එක්නත ලබාදීමත් අඩාළවී තිබෙනවා.” යැයිද පවසා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ශාඛාවේ නියෝජ්‍ය සභාපත‍ෛවෛද ශාන්ත ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


(බදුල්ල -පාලිත ආරියවංශ)