drug-medical-issue

රට තුළ විශාල ඖෂධ හිඟයක් ඇති වී තිබියදී දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ තොග පිටින් ඉන්දීය ණය ක්‍රමය යටතේ මෙරටට ගෙවා, දේශීය නිෂ්පාදකයන් අදාළ නිෂ්පාදන කටයුතුවලින් ඉවත්වන තැනට බලධාරින් කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. 2019 වසරේදී දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදකයන් හා බලධාරින් අතර ඇති කර ගත් එකගතාවන්ට අනුව දේශීය වශයෙන් 100%ක් නිෂ්පාදනය කරන ඖෂධ මෙරටට ගෙන්වීම නවතා දැමීමට තීරණය කළ බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

මේ අනුව දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම 2019 වසරේදී ඉහළ ගිය බවත්, එහෙත් එම එකඟතාව මේ වනවිට කඩකරමින් මෙරට නිෂ්පාදනය කරන ඖෂධ වැඩි මිලට ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් රැගෙන එමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. ඖෂධ ගෙන්වීමට වියදම් කරන ඩොලර් ප්‍රමාණය මෙන් දස ගුණයක් පමණ අඩුවෙන් ඖෂධ නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය ගෙන්වීමට හැකි බවත්, මෙලෙස ගෙන්වන අමුද්‍රව්‍යවලින් සකස් කරන ඖෂධ මෙරට අවශ්‍යතාවන්ට තබාගෙන ඉතිරි ප්‍රමාණය වින්දේශවලට විකුණා දමා ඩොලර් ආදායම උපයාගත හැකි බවත් සභාපතිවරයා පැවසීය. මීට අමතරව මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය කිර්ම තුළින් රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වන බවත්, එහෙත් වර්තමාන බලධාරීන් සිදුකරමින් තිබෙන්නේ දැනට ඖෂධ නිෂ්පාදනය කරන සමාගම ප්‍රමාණය වැසී යන ආකාරයේ වැඩ බවත් හෙතෙම පවසා සිටියේය.

මේ නිසා රට තුළ හිඟව පවතින ඖෂධ පමණක් මෙරටට ගෙන්වා දේශීය ඖෂධ නිෂ්පාදකයන් දිරිගැන්වීමට අදාළ කටයුතු සිදුකළ යුතු බවත්, අපේ කලාපය සැලකීමේදී බංග්ලාදේශය විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කර හොඳ ආදර්ශයක් ලබාදී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.


(ඉන්දික හේවාවිතාරණ )