drug-stock-loss

මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ 91ක තොග අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. තොග අවසන් වී ඇති ඖෂධ අතර වේදනා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ, හෘදරෝග සඳහා ලබාදෙන ඖෂධ, ශ්වසන පද්ධතියේ ආබාධ සඳහා ලබාදෙන ඖෂධ මෙන්ම පිළිකා නාශක ඖෂධද පවතින බවද එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. රජයේ රෝහල් ආශ්‍රිතව මෙන්ම පෞද්ගලික අංශය තුළද අඩු වැඩි වශයෙන් බරපතළ ඖෂධ හිඟය ඇති වී තිබෙන බවත්, මීට අමතරව රෝගීන්ට දරාගත නොහැකි ලෙස ඖෂධ මිල ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. පසුගිය මාස තුනක කාලය සැලකීමේදී ඖෂධ මිල 100% - 300% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්,

එහෙත් බලධාරින් මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය. පවතින ඖෂධ හිඟය සලකා බලනවිට ඇතැම් ඖෂධ තොග ඉදිරි සති දෙකක කාලය සඳහා හෝ ප්‍රමාණවත් නොවන බව තහවුරු වෙමින් තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.මේ නිසා පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීමට හා ඖෂධ මිල අඩු කිරීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කර තිබෙන බවත්, එම වාර්තාව ඉදිරි දින කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් වෙත නිල වශයෙන් භාරදීමට කටයුතු කරන බවත්  ලේකමීවරයා ප්‍රකාශ කළේය.

(ඉන්දික හේවාවිතාරණ)