gotabaya-prime-minister
දැනට පළාගොස් තායිලන්තයේ සැඟවී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිත අතර එසේ පැමිණියත් ඔහුට පෙර පැවති ආකාරයට මහජන ප්‍රසාදය නොමැතිව පරාජිතයෙකු ලෙස ජිවත්වීමට සිදුවීම මේ වනවිට ගැටලුකාරී බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සලකා තිබේ.
විශේෂයෙන්ම මහජන විරෝධයක් මත ලෝකයේම අවධානය දිනාගනිමින් රටින් පැනයාමට ගෝඨාභය රාජපක්ෂට සිද්ධවීම මත එම පක්ෂයේ ඉදිරි මැතිවරණ ප්‍රවර්ධන කටයුතු පවා සෘණාත්මක මුහුණුවරකට පත්ව ඇති අතර පොහොට්ටු මන්ත්‍රීවරුන් පවසන්නේ මෙම අහිමිවූ කීර්තිය රාජපක්ෂ පවුලට පමණක් නොව පක්ෂයේ සියලු සාමාජිකයින්ට ඉදිරි ඡන්ද දිනාගැනීම අපහසුකරවන ලෙස බරපතල ලෙස බලපා ඇති බවයි.



ඊට පිළියමක් ලෙස නැවත පැමිණෙන හිටපු ජනපතිවරයා පැත්තකට තල්ලු නොකර ඉහළ පුටුවකට යොමු කිරීම මගින් ඔහුට අහිමිවූ කීර්තිය යළි ලබාදෙන්නට හැකිවෙතැයි පක්ෂය කථාබස් කර තිබේ.
ගෝඨාභය  ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් නම් ඊට අකමැත්තක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඊයේ සඳහන් විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමට කැමතිද යනුවෙන් මාධ්‍යෙව්දියෙකු ඇසූ ප්‍රශ්නයකට  පිළිතුරු දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කළේ,
“අපේ අකමැත්තක් නැහැ. කැමතියි. අනිවාර්යයෙන් අපි ඡන්දයත් දෙනවා. “

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ ප්‍රකාශ කළේ,

“ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් මේ රටට පැමිණිය යුතුයි. එතුමාට ආරක්ෂාව ලබාදිය යුතුයි. අපේ කිසි අකමැත්තක් නැහැ. හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා පත්කරගත් ජනාධිපතිවරයෙක් නේ. ඉතින් අගමැති ධුරයට පත්වුණාට කවුද අකමැති වෙන්නේ. මම නම් විරුද්ධ නැහැ.

එතුමා ඉල්ලුවොත් අගමැති ධුරයට අපි ඡන්දයත් දෙනවා.”
යනුවෙනි.
පක්ෂය ගොඩගැනීමේ ක්‍රියාවලියක් ලෙස මෙන්ම අරගලයේ ජයග්‍රහණ කණපිට හැරවීමේ වෑයමක් ලෙස යලි ගෝඨාභයට අගමැති ධූරය ලබාදීමට ඒ අනුව තීරණයවී ඇති අතර දැනට පවතින පාර්ලිමේන්තු බහුතරය මත එවැනි වෙනස්කමක් අවශ්‍ය වේනම් එය පහසුවෙන් ඉෂ්ට කරගැනීමටද එම පක්ෂයට හැකියාව තිබේ.