jackson-anthony-elephant-attack

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අනතුරට හේතුවූ වන අලියා සෙවීමේ මෙහෙයුම නතර කළ බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පැවසිය. වන අලියා සොයා ගැනීමට වනජීවී නිලධාරින් පුරා සති ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දැරුවත් සොයා ගැනීමට නොහැකි වුණු බවද ඔහු  සඳහන් කළේය.



තවදුරටත් සොයා බැලීම ප්‍රායෝගීකව දුෂ්කර වන හෙයින් එම කටයුතු නතර කළ බව ද සූරියබණ්ඩාර මහතා පැවැසුවේය. එම අනතුරෙන් වන අලියාට ලොකු තුවාල ඇති නොවන්නට ඉඩ ඇති බවත් ඌ එම ප්‍රදේශයේ සිට හමු නොවූයේ ඒ නිසා බවත් වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේය.

වන අලියා සොයා ගැනීමට අලින් ගමන් කරන මාර්ග සහ ඔවුන් ගැවසෙන ප්‍රදේශ වනජීවී නිලධාරින් සිය ගණනක් පරීක්‍ෂා කළ බව සඳහන් කළ හෙතෙම වන අලියා ඈත වනාන්තර ප්‍රදේශයකට යනු හේන් දෙකක සිටි මිනිසුන් දැක ඇතැයි දැනුම් දී ඇති බවත් සූරියබණ්ඩාර මහතා පැවසීය.වනජීවී නිලධාරීන් මෙම අලියා ගැන විස්තර සෙන්නේ එම අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසිය කළ ඉල්ලීමක් අනුවය. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු පිරිසක් රැගත් මෝටර් රියක් අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී වන අලියකුගේ හැපී අනතුරට ලක්වීමෙන් ඇන්තනී මහතා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මේ සිද්ධිය සිදුවූයේ පසුගිය ජූලි මස 3 වෙනිදාය.


- සුජිත් හේවාජුලිගේ-